Wednesday, November 27, 2024

General line - 0115112241

ඉන්ධන මිල සංශෝධනයෙන් බස් සහ ත්‍රීරෝද රථ ගාස්තු අඩුවෙයිද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර




ඉන්ධන මිල සංශෝධනයට අනුව බස් ගාස්තු සහ ත්‍රීරෝද රථ ගාස්තු ද අඩුවන බව අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එම ගාස්තු අඩු කිරීමට අදාළව ඊට අදාළ කොමිෂන් සභාව විසින් මේ වනවිටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බවයි.


කෙසේවෙතත් ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට හැකිදැයි පස්වරුවේ තීරණය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට හැකි පරිදි මෙවර ඩීසල් මිල සංශෝධනය වී නොතිබුණ ද මගී ජනතාව වෙනුවෙන් සහනයක් ලබාදීමට හැකිදැයි සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.


බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් නෙත් නිවුස් අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයෙන් ද විමසීමක් කළා. මේ එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර.


සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පැවසුවේ ගාස්තු පහළ දැමීමට තරම්  ඉන්ධන මිල සංශෝධනයක් වී නොමැති බවයි.

 

ඒ අනුව මෙම අවස්ථාවේ ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නොහැකි බව එම සංගමයේ සභාපති එල් මල්ශ්‍රී ද සිල්වා පැවසුවා.


මාසික මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනය කෙරුණා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩුකල බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

එහි නව මිල වන්නේ රුපියල් 311ක්. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු කර නැහැ.

ඒ අනුව එම පෙට්‍රල් ලීටරයක් රුපියල් 377කට තවදුරටත් අලෙවි වනවා.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කර තිබෙනවා.

එහි නව මිල රුපියල් 283ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිලද රුපියල් 33කින් අඩු කර තිබෙනවා.

එහි නව මිල රුපියල් 319ක්. ලංකා භූමිතෙල් ලීටරයක මිල අඩුකර ඇත්තේ රුපියල් 19කින්.

එහි නව මිල රුපියල් 183ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල සංශෝධනය කළ පරිදි ලංකා අයි ඕ සී සමාගම සහ සයිනොපෙක් සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.