Wednesday, November 27, 2024

General line - 0115112241

හංවැල්ලේ ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කිරීමට හේතුව හෙළි වෙයි




හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් පොලිසිය විසින් මේ වනවිට අනාවරණ කරගෙන තිබෙනවා.

අදාළ ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන ලලිත් කන්නංගර නමැත්තා විසින් බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

ඩුබායිහි සිටින ඔහු අවස්ථා කිහිපයකදී අදාළ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ඉල්ලා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා විසින් හංවැල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇති බවද වාර්තා වුණා.

ඒ, අනුව පොලිසිය අදාළ ව්‍යාපාරිකයාට උපදෙස් දී ඇත්තේ විමසිල්ලෙන් පසු වන ලෙසයි.

එවන් පසුබිමක් තුළ කප්පම් නොදීම හේතුවෙන් වෙඩික්කරුවෙකු විසින් ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිටට පැමිණ වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩික්කරු විසින් මුහුණ ආවරණය කර ගනිමින් ව්‍යාපාරිකයාගේ නිවසෙහි පිටුපස තාප්පයෙන් පැන වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා.

ආරක්ෂක අංශ සාමාජිකයින් මෙහෙයුම් සඳහා එක්වන ආකාරයට වෙඩික්කරු විසින් ටී 56 ගිනි අවියක් යොදාගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බවයි පොලිසිය පැවසුවේ.      

ඒ අනුව මෙම වෙඩික්කරු ආරක්ෂක අංශවලට සම්බන්ධ අයෙකු බවටයි පොලිසිය සැක පල කරන්නේ.

නිවස ඉදිරිපිට පූටුවක අසුන්ගෙන සිටි ව්‍යාපාරිකයාට වෙඩික්කරු විසින් ටී පනස් හය වර්ගය ගිනි අවියෙන් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර තිබෙනවා.

ඉන් බරපතල තුවාල ලැබූ ව්‍යාපාරිකයා අවිස්සාවේල්ල මූලික රෝහල වෙත රැගෙන යන අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිස් ස්ථානය, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය, පොලිස් විශේෂකාර්ය බලකාය ඇතුළු කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

මීට මාස කිහිපයකට පෙර ද හංවැල්ල ප්‍රදේශයේදී මන්නා රොෂාන්, ඔහුගේ සහෝදරයා මෙන්ම තවත් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් ද මෙහෙයවා ඇත්තේ ඩුබායිහි සිටින ලලිත් කන්නංගර නැමැත්තා විසින් බවටයි වාර්තා වන්නේ.

ඊට අමතරව මීට වසරකට පමණ පෙර හංවැල්ල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණේද ලලිත් කන්නංකර නමැත්තාගේ මෙහෙය වීම මත බවයි අනාවරණ වී ඇත්තේ. 

හංවැල්ල සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව භීතියට පත් කරමින් කප්පම් ලබා ගන්නා ලලිත් කන්නංගර නමැත්තා මීට මාසෙකට පමණ පෙර ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

කෙසේවෙතත් එරට පොලිසිය විසින් ඔහු නිදහස් කර ඇති බවයි වාර්තා වුණේ.