Wednesday, November 27, 2024

General line - 0115112241

පළාත් පාලන ආයතන ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්




2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ආර් එම් ඒ එල් රත්නායක මහතාගේ අත්සනින් යුතුවයි.  

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් අයදුම්පත් සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු 22 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිසි ගෞරවයෙන් යුතුව සැලකිල්ලට ගත් බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සිය කාර්යභාරය මැනවින් වටහාගෙන කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ සඳහන්.

2024 අගෝස්තු මස 22 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුකූලවෙමින් නීතියෙන් නියම කර ඇති මැතිවරණ පැවැත්වීමේ කාර්යභාරය ද සැලකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වූ වහාම කොමිෂන් සභාව විසින් හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කිරීමට කටයුතු කරනු ලබන බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

එමෙන්ම මීට පෙර තීරණය කළ පරිදි පාර්ලිමේන්තු මැතිවරණය අතරතුර, ඔක්තෝබර් මස 26 වනදින ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ද පැවැත්වීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.