Friday, October 4, 2024

General line - 0115112241

මහ මැතිවරණය අවසන් වූ වහාම පුංචි ඡන්දය පවත්වන බවට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්




පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වූ වහාම හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර කරමින් මේ බව සඳහන් කළා.

එම නිවේදනය නිකුත් කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ආර් එම් ඒ එල් රත්නායක මහතාගේ අත්සනින් යුතුවයි.  

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් අයදුම්පත් සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු 22 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිසි ගෞරවයෙන් යුතුව සැලකිල්ලට ගත් බව එම නිවේදනයේ දක්වා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සිය කාර්යභාරය මැනවින් වටහාගෙන කටයුතු කරන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. 

2024 අගෝස්තු මස 22 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුකූල වෙමින් නීතියෙන් නියම කර ඇති මැතිවරණ පැවැත්වීමේ කාර්යභාරය ද සැලකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වූ වහාම කොමිෂන් සභාව විසින් හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කිරීමට කටයුතු කරනු ලබන බවද එම නිවේදනයේ සඳහන්. 

එමෙන්ම මීට පෙර තීරණය කළ පරිදි පාර්ලිමේන්තු මැතිවරණය අතරතුර, ඔක්තෝබර් මස 26 වනදින ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ද පැවැත්වීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ.