Friday, October 4, 2024

General line - 0115112241

දේශබන්දුට එරෙහි නීතිපතිවරයාගේ අභියාචනා පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි

උදය කුමාර




ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් එවක බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කරමින්, අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ඉවත දමන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා. 

ඒ එම අභියාචනා පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, ඒ එච් එම් ඩී නවාස් සහ කුමුදුනී වික්‍රමසිංහ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ අභියාචනා පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 21 වනදා  කැඳවන ලෙස නියෝග කළා.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ 2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් එවක බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කළ බවයි.

නීතිපතිවරයාගේ එම තීරණය අභියෝගයට ලක් කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ බවත් එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය නීතිපතිවරයාගේ එම තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කළ බවත් අභියාචනා පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

අභියාචනාධීකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් එය ඉවත දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.