Friday, October 4, 2024

General line - 0115112241

ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් තවදුරටත් ප්‍රහාර




ඊශ්‍රායලය විසින් ලෙබනනයේ ස්ථාන ගණනාවකට තවදුරටත් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 09 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හිස්බුල්ලා සංවිධානයට අයත් වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයෙකු ජීවත් වූ ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

දකුණු බේරුට්හි හිස්බුල්ලා සංවිධානයට අයත් බලකොටුවක් වශයෙන් සැලකෙන ඩහියේ ගොඩනැගිල්ලද ප්‍රහාර හේතුවෙන් විනාශ වී තිබෙනවා.

කෙසේවෙතත් පසුගිය දින කිහිපය තුළදී ඊශ්‍රායලය විසින් සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් මිලියන 1යි දශම 2ක් අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් බොහෝ දෙනෙකු බේරූට් අගනගරයෙන් පලා ගොස් තිබෙනවා. කෙසේවෙතත් ලෙබනනයේ ප්‍රධාන නගරයක් වන ලැබේඩියා ප්‍රදේශයෙන්ද ජනතාවට ඉවත්වන ලෙසට මේ වන විට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙනවා.

පවතින යුධමය වාතාවරණය හමුවේ එමිරේට්ස් ගුවන් සමාගම ප්‍රකාශ කර ඇත්තේ ඩුබායි සිට ඉරාකය, ඉරානය සහ ජෝර්දානය වෙත සිදු කරන ගුවන් ගමන් දින තුනක කාලයක් අවලංගු කරන බවයි.