ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්රිෂ්ණ ශ්‍රීනිවාසන්, ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව එහිදී සමාලෝචනයට ලක් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත හා දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක් ව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ අරමුණු සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් රජයේ පුළුල් එකඟතාව එහිදී යළි තහවුරු කළ ජනාධිපතිවරයා ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළගාවීමේ වැදගත්කම ද අවධාරණය කළා.
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී පෙන්වා දුන්නා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම අගය කළ එම අරමුදලේ නියෝජිතයන් ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කරන ලද විකල්ප ප්රවේශයන් පිළිබඳව සාකච්ඡා කිරීමට ද එහිදී එකඟතාව පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහනේ තුන්වන සමාලෝචනය ආරම්භ කිරීම පිළිබඳව ද එහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමු ව තිබෙනවා.
ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් එහි යම් ප්‍රමාදයන් ඇති විය හැකි නමුත්, බාධාවකින් තොරව එම කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සාකච්ඡාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වෙත සහතික වී ඇත්තේ.