Wednesday, November 27, 2024

General line - 0115112241

පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අනපේක්‍ෂිත පරාජයක්




පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 31ක අනපේක්‍ෂිත පරාජයක් අත්වුණා.

ඒ, පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේයි. මෙම තරඟයේ කාසියේ වාසිය හිමි කරගත් පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

කෙසේවෙතත් ඔවුන්ගේ තීරණය අභියෝගයට ලක් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර විස්ස තුළ පකිස්තාන කණ්ඩායමේ සියලු පිතිකාරිණියන් ලකුණු 116කට දවා ගැනීමට සමත් වුණා.

පකිස්තාන කණ්ඩායමේ නායිකා ෆාතිමා සනා පන්දු 20කදී ලකුණු 30ක් රැස් කළේ හතරේ පහර 03ක් සහ එක් හයේ පහරක් සමගින්.

පන්දු යැවීමේදී චමරි අතපත්තු, සුගන්ධිකා කුමාර සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු 03 බැගින් දවා ගත්තා. 

ලකුණු 117ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 85ක් පමණයි.

නිලක්ෂි සිල්වා පන්දු 25කදී ලකුණු 22ක් රැස් කළා.

විශ්මි ගුණරත්න පන්දු 34කදී ලකුණු 20යි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලකුණු 06කට දැවී ගිය අතර හර්ෂිතා සමරවික්‍රම ලකුණු 07කට දැවී ගියා. 

පන්දු යැවීමේදී සාදියා ඉක්බාල් ලකුණු 17කට කඩුලු 03යි.

ෆාතිමා සනා ලකුණු 10කට කඩුලු 02ක් දවා ගත්තා.

පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දැක්වූ පකිස්තාන කණ්ඩායමේ නායිකා ෆාතිමා සනා තරඟයේ වීරයා ලෙස සම්මානය හිමි කර ගත්තා.