Wednesday, November 27, 2024

General line - 0115112241

ජනපති සහ IMF නියෝජිතයන් අතර දෙවන දිනටත් සාකච්ඡා




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී  පැවැත්වුණා.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන්, ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෘවර් ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ IMF සාකච්ඡා සඳහා පත් කෙරුණු මෙරට නියෝජිත කණ්ඩායම ඊට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළඟා වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පළමු සාකච්ඡාව පැවැත්වුණේ ඊයේ පස්වරුවේයි.