Saturday, October 5, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාවක් ගෙන එන බව ජනපති කියයි




රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගා ගත යුතු බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නාහිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අද ප්‍රකාශ කළා.

එවිට ලෝකයේ ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාවට නැඟී සිටිය හැකි බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.

වැල්ලවත්තේ පිහිටි අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී මෙම අදහස් පළ කළා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව ද මෙහිදී මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් විමසා සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තමන් අපේක්ෂා කරන බවයි. 

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙතද පැමිණියා.

එහිදී  ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

තානාපතිවරුන් පත් කිරීමේදී උගත්, බුද්ධිමත්, විදෙස් රටක මෙරට නියෝජනයට ගැළපෙන පිරිසක් පත් කිරීමට කටයුතු කරන ලෙස එහිදී මහා සංඝ රත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම ආණ්ඩුකාරවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේදී දේශපාලනය පිළිබඳ නොසිතා වගකීම් සහගත පුද්ගලයන් පත් කරන ලෙසත් මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති ආකාරයට සියලු තීන්දු තීරණ ගැනීම තම අරමුණ බවයි.