Saturday, October 5, 2024

General line - 0115112241

ඩුබායිහි සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ගෝලයන් දෙදෙනෙකු STF දැළේ




ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ලලිත් කන්නංගර නැමැත්තාගේ ප්‍රධානතම සමීපතමයන් දෙදෙනෙකු හංවැල්ල සහ වග ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින්.

එම බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 ක්, කඩුවක් හා ජංගම දුරකථනයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. 

පොලිස් විශේෂ කාර්ය බලකාය මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අනෙක් සැකකරු වන කඩුගොඩ ඉන්දික නැමැත්තා වග, වැලිකන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෝර 12 ගිනි අවියක් හා එම උණ්ඩ 06 ක්, හෙරොයින් ග්‍රෑම් 14 කට ආසන්න ප්‍රමාණයක්, නීති විරෝධී මත්පැන් ලීටර් 10 ක්, ගෝඩා ලීටර් 1,174 ක් සහ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ රැසක්ද සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. 

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තා කප්පම් ලබා ගැනීමේ සිද්ධීන්වලටද සම්බන්ධ අයෙක් වනවා.

පූගොඩ සහ හංවැල්ල ප්‍රදේශ කේන්‍ද්‍ර කර ගනිමින් ඔහු සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම සහ කප්පම් ලබාගැනීම් සිදුකර තිබෙනවා. 

පාතාල කල්ලි සාමාජිකයෙකු වූ මන්නා රොෂාන් හා ඔහුගේ සොහොයුරා ඝාතනය කිරීම සහ හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම යන සිද්ධීන් ලලිත් කන්නංගර නැමැත්තා ඩුබායිහි සිට මෙහෙයවා ඇති බවටයි වාර්තා වන්නේ.