Wednesday, November 27, 2024

General line - 0115112241

වන්දි මුදල අද ගෙවා අවසන් කරන බව නිලන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

උදය කුමාර




රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණ තිබෙනවා.

ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාලව කරුණු දැක්වීම සඳහායි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල පස්වරු 01.30 ට කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඉකුත්දා නිකුත් කළ නොතිසියකට අනුව නිලන්ත ජයවර්ධන මහතා අද අධිකරණයේ පෙනී සිටියා. 

එහිදී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දන ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.

ඔහු කියා සිටියේ තම සේවා දායකයා සක්‍රීය සේවයේ නියුතු පොලිස් නිලධාරියකු බැවින් ඔහුට මෙම වන්දි මුදල් ගෙවීම සඳහා බාහිර පාර්ශ්වයන්ගෙන් මුදල් ඉල්ලා සිටීමට හැකියාවක් නොමැති බවයි.

කෙසේවෙතත් මතුව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුගේ හිතමිත්‍රයින් ඉදිරිපත් වී ගෙවීමට නියමිතව තිබෙන ඉතිරි වන්දි මුදල වන රුපියල් මිලියන 65ක මුදල සොයා දීමට කටයුතු කර තිබෙනවා.

එම මුදල් අද දින බැංකුව හරහා හානිපූර්ණ කාර්යාලයට ගෙවීමට කටයුතු කරන බවයි ජනාධිපති නීතිඥවරයා දන්වා සිටියා.

ඒ අනුව පෙත්සම්කරු අධිකරණ නියෝගයට අවනත වී අදාළ සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට කටයුතු කරන හෙයින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු විභාගයක් පවත්වාගෙන නොයන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ වන්දි මුදල් ගෙවීම සඳහා වගඋත්තරකරුවන්ට ලබා දුන් කාලය මේ වන විටත් ඉක්මගොස් ඇති බවයි.

කෙසේවෙතත් අදාළ මුදල් ගෙවූ බව තහවුරු කරන ලේඛන අද පස්වරු 01.30 ට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව අදාළ මුදල් නොගෙවන්නේ නම් අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවත් සඳහන් කළා.

අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් නිලන්ත ජයවර්ධන මහතා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75 ක වන්දියක් ගෙවන ලෙසත් ඔහුට පෙරදී නියම කර තිබුණා.

එහෙත් එම වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට එරෙහිව අධිකරණය විසින් කළ නියෝගය පරිදි නීතිපතිවරයා විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරනු ලැබුවා. 

ඊට අදාළව කරුණු දැක්වීම සඳහා අද දින අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නොතිසියකට අනුවයි නිලන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවට පැමිණ සිටින්නේ.