Tuesday, November 26, 2024

General line - 0115112241

නිලන්ත ජයවර්ධන වන්දි මුදලේ ඉතිරියත් ගෙවා දමයි

උදය කුමාර




තමන්ට නියම වූ රුපියල් මිලියන 75 ක වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇති බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ඔහුට එම වන්දි මුදල ගෙවීමට මීට පෙර නියම කෙරුණා.

නියම වූ වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකිරීම හේතුවෙන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුකරය අද දහවල් යලි කැඳවූ අවස්ථාවේදී ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා මෙම දැනුම්දීම සිදුකළා.

ඒ බව තහවුරු කරන ලේඛනයක්ද ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

මෙම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මියද අධිකරණයට දැනුම් දුන්නේ වග උත්තරකරු විසින් අද දින රුපියල් මිලියන 65 ක වන්දි මුදලක් ගෙවා ඇති බව හානි පූර්ණ කාර්යාලය විසින් වාර්තා කර ඇති බවයි.

ඉන් අනතුරුව විවෘත අධිකරණයේ නැගී සිටි  වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා මෙම වන්දි මුදල් ගෙවීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමා අධිකරණයෙන් සමාව අයැද සිටින බව සඳහන් කළා.

ඉන් අනතුරුව වගඋත්තරකරුට අදාළ නඩු කටයුතු අවසන් කිරීමටත් අධිකරණය තීන්දු කළා.

ඒ අනුව මෙම නඩුවට අදාළ වන්දි ගෙවීම් සිදුවන ක්‍රමවේදය පිළිබඳව විමසා බැලීම සඳහා  මෙම නඩු කටයුත්ත යලි නොවැම්බර් මස 18 වනදා කැදවීමට ද සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළා.

මෙම නඩුකරය අද පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී ඉකුත්දා සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිකුත් කළ නොතිසියකට අනුව වග උත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා  අධිකරණය හමුවේ පෙනී සිටියා. 

එහිදී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

එහිදී ඔහු කියා සිටියේ තම සේවා දායකයා සක්‍රීය සේවයේ නියුතු පොලිස් නිලධාරියකු බැවින් ඔහුට මෙම වන්දි මුදල් ගෙවීම සඳහා බාහිර පාර්ශ්වයන්ගෙන් මුදල් ඉල්ලා සිටීමට හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් මතු වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුගේ හිතමිතුරන් ඉදිරිපත් වී  ගෙවීමට නියමිතව තිබෙන ඉතිරි වන්දි මුදල් සඳහා වන මුදල පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති බවත් එම මුදල් තම සේවා දායකයාගේ බිරිඳගේ බැංකු ගිණුම වෙත ලැබී තිබෙන බවත් සඳහන් කළා.

අදාළ මුදල් අද දින  හානිපූර්ණ කාර්යාලයට ගෙවීමට කටයුතු කරන ලෙස අදාළ බැංකුව වෙත ස්ථාවර නියෝගයක් නිකුත් කර ඇති බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව පෙත්සම්කරු අධිකරණ නියෝගයට අවනතව අදාළ සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට කටයුතු කර ඇති බැවින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ වූ නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන නොයන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ වන්දි මුදල් ගෙවීම සඳහා වගඋත්තරකරුවන්ට ලබා දුන් කාලය මේ වන විටත් ඉක්ම ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ මුදල් ගෙවූ බව තහවුරු කරන ලේඛන අද පස්වරු 1.30 ට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් එසේ මුදල් ගෙවූ බව තහවුරු කිරීමට වග උත්තරකරු අපොහොසත් වන්නේ නම් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ වූ නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවත් අග විනිසුරුවරයා විවෘත අධිකරණයේ සඳහන් කළා.

ඒ අනුව අදාළ නඩු කටයුත්ත යලි අද දහවල් කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ සම්පූර්ණ වන්දි මුදල් ගෙවා අවසන් කර තිබෙන බව නිලන්ත ජයවර්ධන මහතාගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව ඔහුට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට ද තීන්දු වුණා.

නියම වූ රුපියල් මිලියන 75ක වන්දි මුදලෙන් රුපියල් මිලියන 10 ක මුදලක් නිලන්ත ජයවර්ධන මහතා මීට පෙර ගෙවා තිබුණා.

ඒ අනුව ඉතිරි වන්දි මුදල වන රුපියල් මිලියන 65ක මුදල මෙලෙස අද ගෙවා අවසන් කර තිබෙනවා.