Friday, October 18, 2024

General line - 0115112241

අනතුරු අඟවමින් අමෙරිකාව, ඊශ්‍රායලයට දින 30ක් කල් දෙයි




ගාසා තීරයේ මානුෂීය ආධාර ප්‍රවේශය ඉහළ නැංවීම සඳහා වහාම පියවර ගන්නා ලෙස අමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලයට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ, දින 30ක කාලයක් ද ලබා දෙමින්. එසේ නොවුනහොත් අමෙරිකාව විසින් ඊශ්‍රායලයට ලබා දෙන හමුදා ආධාර කපාහරින බවයි අමෙරිකාව දන්වා ඇත්තේ. 

අමෙරිකාව සහ ඊශ්‍රායලය යනු මිත්‍ර රාජ්‍යයන් දෙකක්.

ඊශ්‍රායලයට යුද ආධාර ලබා දෙන්නේද අමෙරිකාවයි.

පසුගිය වසර පුරා ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහි යුද්ධය සඳහා ඊශ්‍රායලයට ගුවන් යානා, බෝම්බ, මිසයිල සහ ෂෙල් වෙඩි ලබා දුන්නේ අමෙරිකාවයි. 

එවන් පසුබිමක අමෙරිකාව විසින් මෙලෙස ඊශ්‍රායලයට ලිඛිතව කළ දැනුම්දීම ප්‍රබල අනතුරු ඇඟවීමක් ලෙසටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාර මධ්‍යයේ උතුරු ගාසා තීරයේ සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවට වාර්තා පළ වීමයි.

පසුගිය මාසයේ ගාසා තීරයේ මානුෂීය ආධාර ව්‍යාපාරවලින් සියයට 90ක් ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කර හෝ බාධා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

කෙසේවෙතත් ඊශ්‍රායලය මීට පෙර කියා සිටියේ තමන් හමාස් ක්‍රියාකාරීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන නමුත් මානුෂීය ආධාර ඇතුළුවීම නතර නොකරන බවයි.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ගාසා තීරයේ උතුරු දිග ප්‍රදේශයේ සිටින ලක්ෂ 4ක් පමණ වන පලස්තීනුවන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් පවතින බවයි.

ඒ, අත්‍යවශ්‍ය සැපයුම් අවසන් වීම හේතුවෙන්.

ඒ අනුව ගාසා තීරයේ මානුෂීය ආධාර ප්‍රවේශය ඉහළ නැංවීම සඳහා ඊශ්‍රාලයලට ලබා දුන් දින 30 ක කාල සීමාව එළඹෙන නොවැම්බර් 05 වන දින ආරම්භ වීමට නියමිතයි.

අමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වෙන්නේද මෙම කාල වකවානුවේයි.