Wednesday, October 23, 2024

General line - 0115112241

කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 05 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. 

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 38 යි පන්දු 03 ක් අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු   185 ක් රැස්කර සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. 

ඒ අනුව තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37 කදී රැස් කිරීමට හිමි වූ ලකුණු සංඛ්‍යාව 232 ක්. 

පන්දුවාර 31 යි පන්දු 05 ක් අවසානයේ කඩුලු 05 ක් පමණක් දැවී ලකුණු 234 ක් රැස් කරමින් ශ්‍රී ලංකාව තරගය ජය ගත්තා. 

නායක චරිත් අසලංක පන්දු 71 කදී ලකුණු 77 ක් රැස් කළා. 

ඔහුගේ ඉනිමට හයේ පහර 03 ක් සහ හතරේ පහර 08 ක් ඇතුළත් වුණා. 

චරිත් අසලංක වේගවත්ම එක්දින ලකුණු 2000 පසුකල දෙවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට ද පත් වුණේ ඉනිම් 56 කදී එම ලකුණු රැස් කර ගනිමින්. 

පැතුම් නිස්සංක වේගවත්ම එක්දින ලකුණු 2000 පසුකල ශ්‍රී ලංකාවේ පළමු ස්ථානයේ රැඳී සිටින්නවා. 

ඔහු එම ලකුණු සංඛ්‍යාව පසුකර ඇත්තේ ඉනිම් 52 කදීයි.

කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේදී නිශාන් මධුෂ්ක ද පන්දු 54 කදී ලකුණු 69 ක් රැස්කලා. 

කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 30 යි. පන්දු යැවීමේදී ගුඩකේෂ් මෝටි කඩුලු 03 ක් බිඳ හෙලුවා. 

තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ නායක චරිත් අසලංකයි. 

පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තරගය පැවැත් වුණා. 

දෙරට අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය ලබන 23 වනදා පැවැත්වීමට නියමිතයි.