Sunday, November 24, 2024

General line - 0115112241

මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්




මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියුතු නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රධාන ජේලර්වරයාගේ සහ ගබඩා අංශයේ නියාමකවරයෙකු එලෙස වැඩ තහනමට ලක් කළ බවයි.

මැගසින් බන්ධනාගාරයේ රැදවියන් කිහිප දෙනෙකු සමග අයථා සබදතා පැවැත්වීම හේතුවෙන් එලෙස එම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මූලික පරීක්‍ෂණයකට යටත් එම වැඩ තහනම සිදුකර ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා. 

මේ අතර රක්‍ෂිත බන්ධනාගාර ගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිද වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රදවා සිටිනවා.

එම බන්ධනාගාරයේ ආර් වාට්ටුවේ ඇය රදවා සිටින බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.

මිරිහාන ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ තිබී අංක තහඩු නොමැති වාහනයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව ඇය එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එම සිද්ධියට අදාළව මීට පෙර හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔහු පළමුව වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් අනතුරුව ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණා. 

එම රෝහලේ 14 වන වාට්ටුවේ ඔහු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්‍ෂාව යටතේ ඔහු එලෙස ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.