Monday, December 2, 2024

General line - 0115112241

හිටපු මන්ත්‍රී සුජීවගේ නිවසේ හදිසි පරික්ෂාවක්




සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ කොල්ලුපිටියේ මල් පාරේ පිහිටි නිවස පොලිසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

ඒ, නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සහ හමුදා කැලෑ ඇඳුම් කිහිපයක් එම නිවසේ ඇති බවට ලද තොරතුරකට අනුවයි.

එම තොරතුරට අනුව අදාළ නිවස හදිසි පරික්ෂාවට ලක්කර ඇත්තේ පානදුර, වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරින් කණ්ඩායමක් විසින්.

අධිකරණයෙන් ලබාගත් සෝදෙසි වරෙන්තුවක් අනුව එම හදිසි පරික්ෂාව සිදුකල බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ.

කෙසේවෙතත් එම ස්ථානයේ තිබී සැකකටයුතු කිසිවක් සොයාගෙන නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

සිය නිවස හදිසි පරික්ෂාවකට ලක්කල අවස්ථාවේ සුජීව සේනසිංහ මහතා එම නිවසේ රැඳී සිට නැහැ.

සේවකයෙකු පමණක් එහි රැඳී සිට තිබෙනවා.

පසුව ඔහු ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් විමසා ඇත්තේ සිය නිවස සැබෑ ලෙසම පරික්ෂාවට ලක් කළේ පොලිස් නිලධාරින් ද යන්න සොයා බලන ලෙසයි.

කුරුඳුවත්ත පොලිසිය එම පැමිණිල්ල කොල්ලුපිටිය පොලිසියට යොමු කිරීමෙන් අනතුරුව කොල්ලුපිටිය පොලිසිය මඟින් අදාළ තොරතුර තහවුරු කර ඒ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා දැනුවත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.