Sunday, November 24, 2024

General line - 0115112241

ජොන්ස්ටන්ගේ පෙත්සමක් ඉල්ලා අස්කර ගනී

උදය කුමාර




කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී නීති විරෝධී ලෙස එකලස් කරන ලද BMW වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගනු ලැබුවා.

මෙම පෙත්සම අද මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාදීකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී ඇත්තේ තම සේවා දායකයාට මේ වන විට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබී ඇති හෙයින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවයි.

ඒ අනුව අදාල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ඔහුගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කරනු ලැබුවා.