Sunday, November 24, 2024

General line - 0115112241

හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකුට ලබාදුන් සිර දඬුවමක් අභියාචනාධිකරණය තහවුරු කරයි

උදය කුමාර




ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබාදීම සඳහා කාන්තාවකගෙන් රුපියල් 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ  හිටපු  නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබූ බරපතළ වැඩ සහිත වසර 04 ක සිර දඬුවම් හා දඩ මුදල අභියාචනාධිකරණය විසින් අද තහවුරු කර තිබෙනවා.  

ඒ, අදාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් ප්‍රතික්ෂේප කරමින්.

සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම  නියෝගය නිකුත් කර තිබෙනවා.

2007 වසරේ දෙසැම්බර් මස 01 වනදා සහ එම මස 26 වනදා අතර කාල සීමාව තුළ අම්පාරේ දී ජී. පුංචි නෝනා නමැති කාන්තාවකගේ පුත්‍රයාට ලංකා විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබා දීම සඳහා රුපියල් 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විත්තිකාර අභියාචක ශාන්ත ප්‍රේමරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා. 

මෙම සිද්ධිය වූ අවස්ථාවේ විත්තිකාර අභියාචක, දේශපාලන පක්ෂයක දිස්ත්‍රික්  සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කර ඇති අතර ඔහු වෘත්තීයෙන් නීතිඥවරයෙකු ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කර ඇති බවත් නඩු තීන්දුවේ සඳහන් වුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2017 වසරේ නොවැම්බර් මස 02 වන දා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණය විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බව  තීන්දු කළා.

ඒ අනුව විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 04 ක සිර දඬුවම් සහ රුපියල් 50,000 ක දඩයක් නියම කළ මහාධිකරණය එම දඩ මුදල් ගෙවීම පැහැර කරනු ලබන්නේ නම් අමතරව මාසයක සිර දඬුවම් නියම කරන බවත් තීන්දුවේ සදහන් වුණා.

එම තීන්දුවට එරෙහිව ශාන්ත ප්‍රේමරත්න මහතා අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ තමන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එල්ල කර තිබූ චෝදනා මහාධිකරණ නඩු විභාගයේදී සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වූ බවයි.

ඊට අමතරව විත්තිය විසින් ඉදිරිපත් කළ කරුණු මහාධිකරණ විනිසුරුවරයා විසින් සැලකිල්ලට භාජනය කර නොමැති බවත් ශාන්ත ප්‍රේමරත්න මහතා සිය ඇපෑලේ සඳහන් කර තිබුණා.

ඉන් අනතුරුව එම ඇපෑල පිළිබඳ පූර්ණ විභාගයක් පැවැත්වූ සම්පත් අබේකෝන් සහ පී. කුමාරම් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචක විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා කොළඹ මහාධිකරණය හමුවේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි සඳහන් කළා. 

ඉදිරිපත් වූ සාක්ෂි මත මහාධිකරණ විණිසුරුවරයා සිය තීන්දුව නිවැරදි ආකාරයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවත්  ඊට මැදිහත්වීමට අභියාචනාධිකරණයට අවශ්‍ය නොවන බවත් විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කළා.

ඒ අනුව අභියාචක විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ  දඬුවම සහ දඩ මුදල්  තහවුරු කරන බවත් ඊට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කරන බවත් නඩු තීන්දුවේ සඳහන් වුණා.