Sunday, November 24, 2024

General line - 0115112241

අල්ලස් ගත් හිටපු රේගු නිලධාරීන් සිව්දෙනෙකුට වසර 35 ක බරපතල වැඩ සහිත සිර දඬුවම්

උදය කුමාර




හිටපු රේගු නිලධාරීන් හතර දෙනෙකුට අද බරපතළ වැඩ සහිත වසර 35 ක සිර දඬුවම් නියම කළා. 

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා විසින්. 2015 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලයට සැපයීම සඳහා ආනයනය කරන ලද මෝටර් රථ අමතර කොටස් අඩංගු බහාළුම් කිහිපයක් නිදහස් කිරීම සඳහා රුපියල් මිලියන 125 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට අදාළව ඔවුන්ට එම දඬුවම නියම කෙරුණා.

අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් මිලියන 125 ක මුදල එක් එක් විත්තිකරුගෙන් දඩයක් වශයෙන් වෙන් වෙන්ව  අයකර ගන්නා ලෙසත් එම දඩය ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව මාස 24 ක ලිහිල් සිරදඬුවම් නියම කරන බවත් නඩු තීන්දුවේ සඳහන් වුණා.

එමෙන්ම පළමුවන විත්තිකරුට රුපියල් 27000/- ක දඩයක්ද සෙසු විත්තිකරුවන් තුන්දෙනාට රුපියල් 25,000 බැගින් දඩ නියම කෙරුණා.

එම දඩ මුදල ගෙවීම පැහැර හැරුණු ලැබුවොත් අමතරව මාස තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන බවත් කොළඹ මහාධිකරණ විනිසුරු නියෝග කළා. 

ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධිකාරීවරුන් වන එම්.ඩී. උපාලි ගුණරත්න, එච්.ඩබ්ලිව්. විමලවීර , යූ.එස්. වික්‍රමසිංහ සහ එස්.පී. ජිනදාස යන විත්තිකරුවන්ට මෙසේ දඬුවම් නියම වුණා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු වරයා අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ චෝදනා පහකට විත්තිකරුවන් වෙන් වෙන් වශයෙන් වරදකරුවන්  කරන බව සඳහන් කළා.

දඬුවම් නියම කිරීමට පෙර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන් ශ්‍රී ලංකා  රේගුවේ සේවය කළ පළපුරුදු නිලධාරීන් බවත් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔවුන් සියලු දෙනා තම සේවා කාලය වසර 25 ඉක්මවා කටයුතු කර තිබූ බවත් සඳහන් කළා.