දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි මස 24 සහ 25 යන දිනවල විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව 08 ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
එම පෙත්සම් යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද කැඳවනු ලැබුවා.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වල වග උත්තරකරුවකු ලෙස නම් කර සිටින වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් විරෝධතා ගොනු කිරීම සඳහා කාලය ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ අනුව අදාල විරෝධතා ගොනු කිරීම සඳහා නීතිපතිවරයාට කල් ලබා දුන්නා.
මෙහිදී අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු විසින් මෝසමක් ගොනු කර තිබෙන අතර ඊට එරෙහිව පෙත්සම්කාර පාර්ශව විසින් ද තවත් මෝසම් ඉදිරිපත් කර තිබුණා.
එම මෝසම් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා ඒවා අග විනිසුරුවරයා වෙත යොමු කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නා.
ඉන් අනතුරුව අදාල පෙත්සම් පෙබරවාරි මස 24 වනදා සහ 25 වනදා විභාගය සඳහා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයා වෙත විධිමත් නිර්දේශයක් ඉදිරිපත් කර නොමැති බවයි.
එවැනි විධිමත් නිර්දේශයකින් තොරව ඒ මහතා පොලිස්පති ධුරයට පත් කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුවන බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්කරුවන් සඳහන් කළා.
ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්වලින් ඉල්ලා තිබෙනවා.
කෙසේවෙතත් ඉකුත් ජූලි මස මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ වගකීම් හා රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණා.