Friday, November 22, 2024

General line - 0115112241

චීන-ඇමරිකා ජනපතිවරුන් අතර හමුවක් පේරු රාජ්‍යයේදී 




ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පිං  අතර හමුවක් පේරු රාජ්‍යයේ ලීමා නගරයේ දී පවත්වා තිබෙනවා 

එහිදී වර්තමාන ලෝකය කැලඹිලි තත්ත්වයන් රැසකට මුහුණ දෙන බවත් පෙර නොවූ විරූ අභියෝගයන්වලට මානව වර්ගයා මුහුණ දෙමින් සිටින බවත් චීන ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තවද ගතවූ වසර 4 තුළ, චීන-ඇමරිකානු සබඳතා අසීරුතා මධ්‍යයේ වුවද සමස්තයක් වශයෙන් ස්ථාවර මට්ටමක පැවති බව ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

චීනයට එරෙහිව පීඩා එල්ල කිරීම යුක්ති සහගත නොවන බවත් ඉන් සාර්ථකත්වයක් අත් කර ගත නොහැකි බවද පෙන්වා දුන්  චීන ජනාධිපතිවරයා චීනය සෑමවිටම පොරොන්දු ඉටු කර ඇති බවද එහිදී පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමරිකාව නිරන්තරයෙන් ම සිය පොරොන්දු නොතකා විරෝධී ප්‍රතිපත්තියක සිටියි නම් ඇමරිකාවේ ස්වරූපයටත් දෙපාර්ශ්වයේ අන්‍යෝන්‍ය විශ්වාසයටත් එය හානිකර වන බවත් ඒ නිසා සමානාත්මතාවය මත චීනය හා ඇමරිකාව එකිනෙකාට සැලකිය යුතු බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා  සඳහන් කර සිටියා.

එහිදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පැවසුවේ ‘නව සීතල යුද්ධය’ තම රට දියත් නොකරන අතර චීනයේ දේශපාලන ක්‍රමවේදය වෙනස් කිරීමට මැදිහත් නොවන බවයි.

සන්ධාන සබඳතාව තහවුරු කිරීමෙන් චීනයට විරුද්ධ වීමක් සිදු නොකරන බවත් ‘තායිවාන ස්වාධීනත්වය’ට සහාය නොදක්වන බවත් චීනය සමග ගැටුම් ඇතිකර නොගන්නා බවත් හෙතෙම ප්‍රකාශ කර තිබෙනවා.