Wednesday, November 20, 2024

General line - 0115112241

මැටි පිටියේ රජු නඩාල්, ටෙනිස් ක්‍රීඩාව අත්හරී




දස දහස් සංඛ්‍යාත ප්‍රේක්‍ෂක උත්තමාචාර මැද ලෝක ප්‍රකට ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් සිය ටෙනිස් දිවියට සමු දී තිබෙනවා. 

ඒ, ඔහු නියෝජනය කළ ස්පාඤ්ඤ කණ්ඩායම ඩේවිස් කුසලානයේදි නෙදර්ලන්තයට එරෙහිව පරාජය වීමෙන් පසුවයි. 

ඔහු වෙනුවෙන් විශේෂ සැමරුම් උළෙලක්ද සංවිධාන කර තිබූ අතර එහිදී නඩාල් සිය ප්‍රේක්‍ෂකයින් අමතන විට සංවේදී වී තිබෙනවා. 

ලෝකප්‍රකට පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් මෙන්ම ටෙනිස් පිටියේ සුපිරි ක්‍රීඩකයින් වන රොජර් ෆෙඩරර්, නොවැක් ජොකොවික්, සෙරීනා විලියම්ස් සහ ඇන්ඩි මරේ ඇතුළු සුපිරි තරු රැසක් නඩාල්ට සුබපැතුම්ද එක් කර තිබුණා.

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22 ක් දිනාගෙන ඇති ස්පාඤ්ඤයේ සුපිරි ක්‍රීඩක නඩාල් මේ වන විට 38වන වියේ පසුවනවා. 

ඔහුගේ දිගුකාලීන ප්‍රතිවාදියා වූ නොවැක් ජොකොවික්ට පමණක් පිටුපසින් සිටිමින් සිය ටෙනිස් දිවිය නිමා කළ නඩාල් සැලකෙන්නේ මෙතෙක් ලොව දෙවැනි සාර්ථකම පිරිමි කේවල ක්‍රීඩකයා ලෙසයි. 

“ස්වභාවික මැටි ටෙනිස් පිටියේ රජු” ලෙස සැලකෙන ඔහුගේ ප්‍රධාන ටෙනිස් තරඟ 116 න් 112 ක් ජය ගෙන ඇති නඩාල්, 14 වතාවක් ප්‍රංශ විවෘත කේවල ශූරතාව ද දිනා ගෙන තිබෙනවා. 

නඩාල් අවස්ථා 04කදී අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවයත් අවස්ථා දෙක බැගින් ඕස්ට්‍රේලියානු විවෘත සහ විම්බල්ඩන් ටෙනිස් ශූරතාවය දිනා ගත්තා. 

ඔහු ඔලිම්පික් කේවල සහ ද්විත්ව රන් පදක්කම් දිනාගත් සුපිරි ක්‍රීඩකයෙක්.