Sunday, December 15, 2024

General line - 0115112241

ජනපති අනුරගේ ඉන්දීය සංචාරය පිළිබඳ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. 

ජනාධිපතිවරයා සිය ධුරයට පත්වීමෙන් පසුව විදෙස් සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වනවා. 

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී දෙරට අතර බහුවිධ සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවයි.

සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග ද නිල ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරතවීමට නියමිත අතර නවදිල්ලිහි පිහිටි රාශ්ඨපතිභවන්හිදී එම හමුව හෙට පැවැත්වෙනවා. 

එමෙන්ම ජනාධිපතිවරයා මෙහිදී දෙරට අතර ආයෝජන සහ වාණිජ සබඳතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දිල්ලියේ පැවැත්වෙන ව්‍යාපාරික හමුවකටද එක්වීමට නියමිතයි. 

සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුද්ධගයාවේ ද සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. 

ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා, කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා ඇතුළු පිරිසක් එක්වෙනු ඇති.