ඊශ්‍රායලයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු රැකියා ගිවිසුම් උල්ලංඝණය වන පරිදි කටයුතු කිරීම හේතුවෙන් යළි මෙරටට පිටුවහල් කිරීමට තීරණය කර තිබෙනවා.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ කෘෂිකාර්මික අංශයේ රැකියා වීසා මත ඊශ්‍රායලට පැමිණ ඇති ඔවුන් එම සේවා ස්ථානවලින් පලාගොස් බේකරිවල සේවය කරමින් සිටියදී එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඊශ්‍රායලයේ රැකියා සඳහා පැමිණෙන විදෙස් ශ්‍රමිකයින්ට තමා පැමිණි විසා කාණ්ඩයෙන් වෙනත් විසා කාණ්ඩයකට මාරුවීමේ නීතිමය අවසරයක් නොමැති බවද ඊශ්‍රායල බලධාරීන් අවධාරණය කර තිබෙනවා.
මේ අතර සාත්තු සේවය සඳහා මීට වසරකට පෙර ඊශ්‍රායලයට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් ද සේවා කොන්දේසි කඩකිරීම හේතුවෙන් යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවා.
මීට පෙර ද සොරකමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයෙකු පිටුවහල් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.