Monday, December 16, 2024

General line - 0115112241

ඉන්දියාවට ගිය ජනපති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අරඹයි




ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. 

නවදිල්ලි නුවර ජනාධිපතිවරයා නතර වී සිටින හෝටලයේදී එම සාකච්ඡා ආරම්භ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ඒ අනුව එම හෝටලය වෙත පැමිණි ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් මහත්මිය, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් මහතා ජනාධිපතිවරයා හමුවී තිබෙනවා.

ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් මහත්මිය අතර පැවති හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

එසේම ඉන්දියානු සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම, ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර හමුව ඉතා සුහදශීලි ලෙස පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය ඇති කිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ එහිදී අවධානයට ලක් වී තිබෙනවා.

මෙරට සංචාරක, ආයෝජනය සහ බලශක්ති ක්ෂේත්‍රයන් සඳහා සහාය දැක්වීමට ඉන්දියානු රජය ඒකඟතාවය පළ කරන බවද ආචාර්ය එස්. ජයිශංකර් මහතා එහිදී ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ධීවර කර්මාන්තය සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙනවා.

ඉන් අනතුරුව ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බැහැ දැක කලාපීය ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවකට එක් වූ බවයි ජනාධිපති මාධය අංශය පැවසුවේ. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.