යාපනය ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳව මාසයක් පුරා අඛණ්ඩව පරීක්ෂණ කර එහි අහිතකර කාරක තිබේදැයි අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් අද මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළා.
එවැනි පරීක්ෂණයකදී යාපනය ප්‍රදේශයේ වායුවේ අහිතකර කාරක අන්තර්ගත වන බවට තොරතුරු අනාවරණය වන්නේ නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට ඇති හැකියාව සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙසයි අභියාචනාධිකරණය පරිසර අමාත්‍යවරයා ඇතුළු පිරිසකට නියෝග කළේ.
යාපනය ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය උමාසුකී නඩරාජා මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණයට දැනුම් දුන්නේ යුද්ධයෙන් පීඩාවට පත් වූ යාපනය අර්ධද්වීපයේ වායු ගුණත්වය පිළිබඳව වගකිවයුතු රාජ්‍ය ආයතන විසින් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදු කර නොමැති බවයි.
යාපනය ප්‍රදේශයේ පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය සහ ඉන්දියාව වැනි අසල්වාසී රටවලින් ඇදී එන අහිතකර කාරක හේතුවෙන් එම ප්‍රදේශයේ වායු දූෂණයක් ඇතිවී තිබෙන බවත් පෙන්වා දුන් නීතිඥවරයා ඒ පිළිබඳව පරීක්ෂා කරන ලෙස බලධාරීන්ගෙන් අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළ ද එය ඉටුවී නොමැති බව සඳහන් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාල පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය මාර්තු මස 6 වනදා පැවැත් වීමට දින නියම කෙරුණා.