Wednesday, January 15, 2025

General line - 0115112241

දැන් එජාපය මෙහෙයවන්නේ වළලු දැමූ අතක්




දැන් එජාපය මෙහෙයවන්නේ වළලු දැමූ අතක් බවත් කතක් පුටුවේ වාඩිවීම මහ අරුමයක් නොවන බවත් එජාප මහ ලේකම් පුටුවේ තලතා අතුකෝරල වාඩිවීම වාර්තාවක් වන බව මනුෂ නානායක්කාර මහතාගේ හිටපු මාධ්‍ය ලේකම් 

 සංජය නල්ලපෙරුම මහතා පවසනවා 

තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා සිටියා 

එම ෆේස්බුක් සටහන පහතින් 


උපුටා ගැනීමකි 

වළලු දැමූ අතක් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ මහ ලේකම් පුටුවේ වාඩි වූවාය. 

ඒ පෙරේදා (10 වැනිදා) උදෑසනය. කතක් පුටුවේ වාඩිවීම මහ අරුමයක් නොවන මුත් එජාප මහ ලේකම් පුටුවේ තලතා අතුකෝරල වාඩිවීම නම් වාර්තාවකි. එක වාර්තාවක් නොව වාර්තා දෙක තුනකි.

මෙතෙක් එජාපයේ සිටියේ ලේකම්වරු මිසක් ලේකම්වරියන් නොවේ. ගිය අවුරුදු අනූව පුරාම රට කරවූ කිසිදු පක්ෂයක ලේකම්වරියක සිටියේ නැත. 

අවුරුදු අනූවක් යනුවෙන් විශේෂයෙන් ලීවේ ලංකාවේ පක්ෂ දේශපාලනය ආරම්භ කර මේ වසරට අනූ වසරක් පිරෙන නිසාය. ලංකාවේ පක්ෂ ක්‍රමය පටන් ගත්තේ 1935 දී ඇරඹුණ ලංකා සමසමාජ පක්ෂයෙනි. ගිය අවුරුදු අනූවේ දේශපාලන පක්ෂයක කතක් ලේකම් පදවියක් දැරුවේ නම් ඒ රූකඩ පක්ෂයක් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ෂර්මිලා​ පෙරේරාය. 

එනමුත් එජාපය ශ්‍රීලනිපය, ජවිපෙ, ශ්‍රී ලංකා පොදුජන පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, පොදුජන එක්සත් පෙරමුණ යන රට කරවූ පක්ෂයක මහ ලේකම් පුටුවේ කතක් වාඩි වූයේ නැත. 

කොටින්ම කියනවා නම් මැතිනිය ලොව ප්‍රථම අගමැතිනිය වුවත් ඇගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක ලොව සිව්වැනි විධායක ජනාධිපති වුවද අම්මාගේ හා දූගේ කාලේවත් මහ ලේකම් පුටුවේ කතක් වාඩිවූයේ නැත. 

දැන් තලතා අතුකෝරළ එජාප මහ ලේකම් පුටුවේ වාඩි වූයේ ප්‍රධාන පක්ෂයකින් එවැනි නිලයකට පත් වූ ප්‍රථම කාන්තාව ලෙසය.

ඈ වාඩිවී සිටින ලේකම් පදවිය වූ කලී මහා බලසම්පන්න පුටුවකි. ලංකාවේ දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාවන්ට අනුව, බොහෝ පක්ෂවල තීරණ ගැනීමේ බලය හිමිවන්නේ පක්ෂ මහ ලේකම්වරයාටය. බොහෝ වාමාංශික දේශපාලන ව්‍යාපාරවල පක්ෂ නායකයෙක් සිටියාට, පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් සැබෑ තීරණ ගන්නේ පක්ෂ මහ ලේකම්වරයාය. ඒ නිසා පක්ෂ මහ ලේකම්වරයාට වැඩි බලයක් හිමිව තිබෙනු දැකිය හැක්කේය.

එබැවින් පක්ෂ නායකයා පක්ෂ මහ ලේකම්වරයා තෝරා ගැනීමේදී වැඩි සැලකිල්ලක් දක්වන්නේය. මැතිවරණ දෙපාර්තමේන්තුව සමග නිල ගනුදෙනු කරන්නේ ද පක්ෂ මහ ලේකම්වරයාය. පක්ෂ මහ ලේකම්වරයාගේ වටිනාකම කොතරම්දැයි පසුගියදා දැකගැනීමට හැකිවුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් පත් කිරීමේදීය. 

ජාතික ලැයිස්තුවට මන්ත්‍රිවරුන් නම් කිරීමේ බලය ඇත්තේ මහ ලේකම්වරයාට වන නිසා පක්ෂයේ බහුතර තීන්දුවකින් තොරව මන්ත්‍රිවරුන් දෙදෙනෙක් පත්කර යැව්වේ පක්ෂ මහ ලේකම්වරියාගේ අභිමතය පරිදිය. මැතිවරණ කොමිසමද පිළිගන්නේ ලේකම්ගේ නිල අත්සන පමණි. 

මේ නිසා සෑම විටම පක්ෂ නායකත්වයට හිතවත් අයෙක් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පත් කරගැනීමට පක්ෂ නායකයන් සැමවිටම උත්සාහ ගන්නේය. 

ලංකාවේ පැරණි දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය පළමුවරට මහ ලේකම්වරයෙක් පත් කරගත්තේ 1946 සැප්තැම්බර් 6 වැනි සිකුරාදා සවස පහට කොළඹ කුරුඳුවත්තේ ඇල්බර්ට් ක්‍රසන්ට්හි පාම්කෝට් මන්දිරයේදී පැවති මංගල මහා සභාවේදීය. පාම්කෝට් මන්දිරය තිබුණේ දැන් කෞතුකාගාරය පිහිටි ගොඩනැගිල්ල ආසන්නයේය.

අනගාරික ධර්මපාලතුමාගේ පවුලේ බූදලයක් වූ පාම්කෝට් මන්දිරයේ රැස්වූ මහා සභාවේ මුලසුන දැරුවේ ඩී.එස්. සේනානායකය. එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමේ යෝජනාව රාජ්‍ය සභා මන්ත්‍රි එස්. නඩේසන් විසින් ඉදිරිපත් කළ අතර රාජ්‍ය සභා මන්ත්‍රි ටී.බී. ජයා එම යෝජනාව ස්ථිර කළේය. 

පක්ෂ නායකත්වය හිමිවූයේ ඩී.එස්.ටය. උප සභාපතිවරු සිව් දෙනෙකි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ජෝන් කොතලාවල, ජෝරජ් ඊ. ද සිල්වා, ඒ මහාදේව සහ ටී.බී ජයා ඒ උප සභාපතිවරු සිව් දෙනාය. සම භාණ්ඩාගාරික ලෙස ඒ. ආර්.ඒ. රාසික් සහ ජේ.ආර්. ජයවර්ධන පත්විය. පක්ෂයේ පළමු මහ ලේකම්වරයා වූයේ එච්. ඩබ්ලිව්. අමරසූරියයි.


ගාල්ලේ, උණවටුනේ අමරසූරිය වලව්වේ උපන් හෙන්රි වුඩ්වඩ් අමරසූරිය පාසල් අධ්‍යාපනය ලැබුවේ ගාල්ල මහින්ද විද්‍යාලයෙනි. මහින්ද විද්‍යාලය ගොඩ නැගීමට අමරසූරිය පවුලේ දායකත්වය ලැබී තිබිණි. 


අමරසූරියගේ සිට ගත වූ හැත්තෑ නව වසර තුළ බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පුටුවේ වාඩි වූහ. ඒ අතරේ සිටි ගාමිණී අතුකෝරාළ එක්සත් ජාතික පක්ෂයේ 17 වැනි මහ ලේකම්වරයාය. ඔහු පක්ෂ ලේකම් පදවියට පත්වන්නේ පක්ෂයට වැලේ වැල් නැති කලකය. 

1994 සිට එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පරාජයට පත්වෙමින් තිබුණද පක්ෂයට නව ජවයක් ගෙනදීමට ගාමිණී අතුකෝරළගේ ආගමනය හේතුවිය. ඔහුගේ තේමාව වූයේ  “ගිය නුවන ඇතුන් ලවා ඇද්දවිය යුතු” බවයි. ගාමිණි අතුකෝරළ ජන බල මෙහෙයුම අරඹා අවසන් කළේ පිට පිට මැතිවරණ පරාජයන්ගෙන් හෙම්බත්ව සිටි එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැතිවරණ ජයග්‍රහණයක් අත් කර දෙමිනි. 2001 ආණ්ඩුව පිහිටුවා ඔහුට ජය සමරන්නට හැකි වූයේ දෙසතියක් පමණි. 

2002 ජනවාරි 01 දා ඔහු අකාලයේ මිය ගියේය. ‘‘සබරගමුවේ ඇත් රජු’’ ලෙසින් හැඳින්වූ ගාමිණීගේ අඩුව පුරවන්නට ආවේ ඔහුගේ සහෝදරිය තලතා අතුකෝරළය. 

අයියා සේම ඇයත් නීතිඥවරියකි. ඒ වන තෙක් කිසිදු ක්‍රියාකාරී දේශපාලන කටයුත්තකට සම්බන්ධවී නොසිටි තලතා එතැන් සිට අද දක්වාම දේශපාලනයේ නිරතවන්නීය. දැන් ඈ එක්සත් ජාතික පක්ෂයේ විසි පස් වැනි මහලේකම්ය. පළමු මහ ලේකම්වරියය. අයියාගේ පුටුවේ වාඩි වූ එකම නංගිත් ඇයය. එයත් වාර්තාවකි. 


ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ නැතත් තලතාගේ ගෙදර දේශපාලනයට විවරවූ තැනක් විය. ඇගේ පියා 1960 සහ 65 මැතිවරණවලට තරග කළ දේශපාලන ක්‍රියාකාරියෙක් විය. ඔහු 1960 දී පැල්මඩුල්ල ආසනයට තරග කළත් පරාජයට පත්වූයේ ඡන්ද 150කිනි. 

ඩඩ්ලි සේනානායක සමග දේශපාලනයේ යෙදුන ඔහු පසුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් ලෙස පත් කළේය. 1977 සිට 89 දක්වා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය දැරුවේය. ඒ අතරම දිස්ත්‍රික් සභාපති ධුරයද දැරුවේය.

1973 දී ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් පසුව, රත්නපුර පනාවැන්නේ තලතාගේ නිවසට පැමිණීම කුඩා තලතාට අදටත් තිබෙන පළමු දේශපාලන මතකයයි. ඒ වන විට ඇය හමු වූයේ දස හැවිරිදි වියේය. එදා ජේ.ආර්.ගේ පැමිණීම සුවිශේෂී මතකයක් බවට පත්වීමට තවත් හේතුවක් වෙයි. ඒ ගාමිණි අතුකෝරළ ජීවිතයේ පළමු වතාවට ජාතික ඇඳුම ඇන්දේ එදිනය.

එදින වූ සිදුවීමක් හේතුවෙන් ගාමිණී අතුකෝරළත්, රත්නපුරයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙක් වන චන්ද්‍රා ගන්කන්ද සහ තලතාගේ නිවසේ සේවය කළ රියැදුරකුත් අත්අඩංගුවට ගෙන තිබිණි. 

එය තලතාගේ සිතෙන් නොමැකී යන මතකයකි.

‘ඒ කාලේ මට එහෙම මතක තිබුණට මම කවදාවත් පාසල් කාලයේදී කිසිම දේශපාලන කටයුත්තකට සම්බන්ධ වුණේ නෑ. අඩුම තරමේ නීති විද්‍යාලයේදීවත් එහෙම දේශපාලන කටයුත්තකට සම්බන්ධ වුණේ නෑ. අපිට දේශපාලනය නිසා නොයෙක් හිරිහැර වුණා. අපේ වතුවලට හානි කළා. 

මේ නිසා 1977 දී මම කොළඹ ඉස්කෝලෙන් අරගෙන ගිහින් නැවත රත්නපුරයේ ඉස්කෝලේ දැම්මා. ඒ තරමටම අපිට ප්‍රශ්න ආවා” තලතා අතීතය සිහිපත් කරන්නීය.

පාසල් කාලයේදී තලතා දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවුණා මෙන්ම, තමන්ගේ සහෝදරයාගේ අමාත්‍යාංශයට කවදාවත් ගොස් තිබුණේ නැත. 1978 සිට ගාමිණී අතුකෝරළ නියෝජ්‍ය ඇමැතිවරයෙක්, කැබිනට් ඇමැතිවරයෙක් ලෙස කටයතු  කළත් තලතා ඇතුළු පවුලේ අයට අමාත්‍යාංශය තහනම් කලාපයක් විය. 

කොල්ලුපිටියේ තිබූ පැරණි සිරිකොත පක්ෂ මූලස්ථානයේත්, කෝට්ටේ සිරිකොත මූලස්ථානයේත් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් වූ තලතාගේ පියා ඈ කවදාවත් සිරිකොතට ගෙන ආවේ නැත. 

තමන්ගේ සහෝදරයා පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ කිසිදු දිනෙක තලතා සිරිකොතට පැමිණ තිබුණේ නැත.
“අයියා ගැන මට වචනයෙන් කියන්න බෑ. අයියා කෙනෙක් එක්ක තිබුණ සම්බන්ධයට වඩා යාළුකමක් තිබුණේ. 

පොඩි කාලේ ඉඳලා අයියාට ඕන වුණේ මම පිරිමි ළමයෙක් විදියට දකින්න. අපි ගොඩක් ළඟින් ආශ්‍රය කළා. මේ බැඳීමට කොතරම් ළඟද කියනවා නම් පසු කාලීනව එයාගේ දරුවෝ දෙන්නා හැදුවේත් මම” තලතා කීවාය.


ගාමිණි අතුකෝරළගේ අභාවයෙන් පසුව ඔහුගේ දරු දෙදෙනෙක්ගේ සම්පූර්ණ වගකීම් දැරුවේ තලතාය. ඔවුන් දෙදෙනා උස් මහත් කොට වැඩිහිටියන් වන තෙක් ඒ වගකීම ද, ආදරයද බිඳකින් හෝ ඇය අඩු කළේ නැත. 

ඔවුන්ගෙන් එක් අයෙක් දැන් විවාහකය.

දිගින් දිගටම පැරදෙමින් තිබූ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණයේ මාවතට ගෙන ආ ගාමිණි අතුකෝරළගේ සහෝදරිය දැන් හදන්නේ අයියා මෙන් අලියා නැගිට්ටවන්නටය.


“මේක අභියෝගයක්. මම අභියෝග භාරගන්න කැමැති කෙනෙක්. කාන්තාවක් සහ පිරිමියෙක් අතර වෙනසක් තියෙනවා. සමහර වෙලාවට අයියා කරපු හැම එකක්ම මට කරන්න බැරිවේවි. හැබැයි මගේ දේශපාලනයේ අවුරුදු 20 ඇතුළත එක්සත් ජාතික පක්ෂය තුළ අවුරුදු 16ක් හිටියා. සමගි ජන බලවේගය තුළ අවුරුදු 4ක් හිටියා. මම කිසිම නායකයෙක් පිටුපස්සේ ගිහින් තනතුරු ඉල්ලලා නැහැ.

විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා භාරදුන්න හැම කටයුත්තක්ම පක්ෂයේ තනතුරු වගේම, ඇමැති තනතුරුත් හොඳට කළා. ඒ වගකීම් හොඳින් ඉටු කරලා තියෙනවා” තලතා කියන්නීය.

“පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය කවදාවත් කරන්න බැරි දේවල් කීවේ නෑ. පක්ෂයක් ලෙස ප්‍රතිපත්ති තුළ කටයුතු කළා. ඩී.එස්. සේනානායකලා කළ දේශපාලනයේ වගකීම ජේ.ආර්. ජයවර්ධන නව ආරකින් අරගෙන ගියා. රණසිංහ ප්‍රේමදාස වගේ නායකයෝ වෙන ආරකින් අරගෙන ගියා. 

ඒ සියල්ලමට වඩා රට වැටුණ වෙලාවේ වගකීම ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා පෙන්නුවේ රනිල් වික්‍රමසිංහ. අපි බොරු පොරොන්දු දෙනවා වෙනුවට සියලු දෙනාම එකතු කරගෙන ශක්තිමත් ගමනක් යනවා” තලතා කියන්නීය.
ඈ සියලුදෙනාම එකට එක් කරගනිමින් යන ගමන ආරම්භ කළේ ගියසිකුරාදාය. ඒ පක්ෂයේ මහ ලේකම්ධුරයේ වැඩ භාරගනිමිනි.


සිරිකොත පක්ෂ මූලස්ථානයේදී වැඩ භාරගත් තලතාගේ  වටා සුබපතන්නෝ සිය ගණනක් විය. ඇගේ මේසය වැසී තිබුණේ සුබ පැතීම සඳහා ගෙන එනු ලැබූ මල් පොකුරුවලිනි. තමාට සුබ පතන්නට එවන ලද ඒ අලංකාර මල් බඳුන් සිරිකොතේ මේසය මත දමා  ගෙදර යන්නට ඈ මනාප නොවූවාය. 

ඇගේ ඒ ක්‍රියාව දුටු විට අපට සිහි වූයේ මැතිනියය. එදවස ඈ අගමැතිනියය. පාර්ලිමේන්තුවේ පැවැති දානමය පිංකමට ඈ නිවසේ සිට පොළොස් ව්‍යංජනයක් හදාගෙන ආවාය. පිංකම අහවර වී ගෙදර යන්නට වාහනයට නැගි ඈ සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරි ලෙස සිටි පොලිස් අධිකාරිගෙන් ඇසුවේ පොළොස් හට්ටිය වාහනේට දමා ගත්තාද කියාය. අගමැතිනිය වුවත් ඈ ගෘහනියකි. මහ ලේකම් වුවත් තලතාත් කතකි. 

උපුටා ගැනීම අවසන්