Friday, January 17, 2025

General line - 0115112241

චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනපති අනුරගෙන් සිචුවාන් ජනතාවට ආරාධනයක්




චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිදුව තිබෙනවා. 

ආර්ථික සංවර්ධනය අතින් සෑමවිටම පෙරමුණේ සිටින සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික සහ සංචාරක මෙන්ම අන්තර් රාජ්‍ය සබඳතා ශක්තිමත් කර ගනිමින් නව තලයකට ඔසවා තැබීම පිළිබඳ එම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිචුවාන් පළාත ලබා ඇති ජයග්‍රහණය ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගන්නා ලෙස එහිදී පළාත් ලේකම්වරයා වෙත ජනාධිපතිවරයා ආරාධනා කර තිබෙනවා. 

මේ වන විට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් පවතින බවත්, විනිවිදභාවයෙන් යුත් පාලනය තුළ  රට තුළ ආයෝජන සඳහා ඉතා හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මේ වන විට ශ්‍රී ලංකාව පසුවන්නේ දේශපාලනයේ හැරවුම් ස්ථානයකයි. උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක්ව තුනෙන් දෙකක බලයක් ලබා දෙමින් වත්මන් රජය බලයට පත් කර ගත් බවත්, එම ජන වරම තුළ ජනතාව තැබු අපේක්ෂා උපරිමයෙන් ඉටු කිරීමට රජය කැපවී සිටින බවත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

චීන සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව හොඳ ගමනාන්තයක් බව පැවසූ ජනාධිපතිවරයා විශිෂ්ට ආගන්තුක සත්කාර සහිත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සිචුවාන් ජනතාවට ආරාධනා කර තිබෙනවා. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන , මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මේ අතර චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද චන්දු ප්‍රදේශයේ විද්‍යුත් නිෂ්පාදන කර්මාන්ත ශාලා කිහිපයක් නැරඹීමට නියමිතව තිබෙනවා. 

චීන රාජ්‍ය සංචාරයේ සාර්ථක අවසන් දිනය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා එලෙස අද එම කර්මාන්ත ශාලා නැරඹීමට එක්වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ. 

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, දුප්පත්කම තුරන් කිරීම සම්බන්ධයෙන් වන ආදර්ශ ගම්මානයක් නැරඹීමට සැලසුම් කර තිබෙනවා.