Monday, January 20, 2025

General line - 0115112241

මනුෂ හෙට CIDය හමුවෙවේ පෙනී සිටින බව අධිකරණයට දැනුම් දෙයි




තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඉදිරියේ අද කැඳවනු ලැබුවා. 

ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බවයි.
 

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා විසින් අදාල සිද්ධිය පිළිබඳ  පැමිණිල්ලක් සිදුකල බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණය හමුවේ සඳහන් කළා. 

එම පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ බවද එම නිලධාරියා පැවසුවා.

ශ්‍රී ලංකා රජය හා දකුණු කොරියාව අතර කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රවලට ශ්‍රමිකයින් යොමු කිරීමකට අදාල අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමේ ප්‍රතිපාදනවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් එලෙස විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ හරහා අපරාධමය වරදක් අනාවරණය වී තිබේදැයි විමර්ශන සිදුකරන බවත් එම නිලධාරියා අධිකරණය හමුවේ සඳහන් කළා.

ඒ අනුව මෙම සිද්ධියට අදාලව මේ වන විට ප්‍රකාශ 35ක් පමණ සටහන් කරගෙන තිබෙන බවත් ඔහු පැවසුවා.

දැනට සිදුකර ඇති විමර්ශනවලට අනුව පෙත්සම්කාර මනුෂ නානායක්කාර මහතා මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා කරුණු අනාවරණය නොවන බවත් ඔහු සඳහන් කර සිටියා. 

කෙසේ වෙතත් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් එම නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නා.

මෙම අවස්ථාවේදී මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායකයා අත්අඩංගුවට ගැනු ඇතැයි මතුවූ බිය හේතුවෙන් මෙම පෙත්සම ඉදිරිපත් කළ බවයි. 

කෙසේවෙතත් තම සේවාදායකයා හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත් ඉන් අනතුරුව වෙනත් දිනයක මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

ඒ අනුව අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 22 වනදා කැඳවීමටද නියම වුණා.