ඉන්දියාවේ පැවති පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනට, ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්ව පදනම නියෝජනය කරමින් සහභාගී වූ ත්‍රෛයිනිකායික භික්ෂූන් වහන්සේලා නැවත මෙරටට වැඩම කර තිබෙනවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛයිනිකායික භික්ෂූන් වහන්සේලා එකොළොස් දෙනෙකු මෙම වැඩසටහනට සහභාගී වූ බවයි වාර්තා වන්නේ.
එහිදී එම භික්ෂූන් වහන්සේලා මාසයකට අධික කාලයක් ථේරවාදී සහ මහායාන බෞද්ධ සම්ප්‍රදායන් අතර පවතින සම - විෂමතා හඳුනා ගැනීම සඳහා සූත්‍ර, විනය, අභිධර්ම සහ මධ්‍යම ප්‍රතිපදාව යන තේමා ඔස්සේ සිය අධ්‍යයන කටයුතුවල ද නිරත වී තිබෙනවා.
ඒ, ඉන්දියාවේ බුද්ධගයා, නාලන්දා පෞරාණික විශ්වවිද්‍යාලයේ සහ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝරයේ පැරණි විහාරස්ථානවල අධ්‍යයන චාරිකාවල නිරත වෙමින්.
මෙම වැඩසටහන සදහා ඉන්දියාව, ටිබෙටය, තායිලන්තය, දකුණු කොරියාව, වියට්නාමය සහ භූතානය යන රටවල් නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා 50 දෙනෙකු පමණ සහභාගී වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකර පැවසුවේ.