Saturday, April 27, 2024

General line - 0115112241

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරනවාද? – අගමැතිගෙන් පිළිතුරු




රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය සහ අර්ධ රාජ්‍ය ආයතන බවට පත් කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්සද අග‍්‍රාමාත්‍යවරයා වෙත අද (07) පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්නයක් යොමු කළා.

මෙම ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ රාජ්‍ය වාණිජ ව්‍යවසායන් පිළිබඳ පනත් කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

ගනු ලබන ඕනෑම පියවරකදී රජයට උපරිම වාසි සැලසෙන අයුරින් සහ විනිවිදභාවයෙන් කි‍්‍රයා කරන බවද, සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කරන බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

අතුරු ප‍්‍රශ්නයක් නගමින් නලින්ද ජයතිස්ස මන්තී‍්‍රවරයා විමසා සිටියේ අග‍්‍රාමාත්‍යවරයා විසින් සඳහන් කරන ලද රාජ්‍ය ආයතන හැර පෞද්ගලීකරණය කිරීමට හඳුනාගත් තවත් ආයතන තිබේද යන්නයි. විශේෂයෙන්ම මත්තල ගුවන් තොටුපොළ පෞද්ගලීකරණය කිරීමට සූදානමක් ඇතැයි ඇතැම් මාධ්‍යයද ඉකුත්දා වාර්තාකර තිබූ බවද එහිදී සඳහන් කෙරුණා.

අග‍්‍රාමාත්‍යවරයා ඊට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ මත්තල ගුවන් තොටුපළ රජයත් පෞද්ගලික අංශයත් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි. එහි විශාල ණය බරක් ඇති බවත් පැවසුවා.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන්ද ගැටලු පවතින බවත්, එහෙත් එය සාර්ථක කර ගැනීමට යෝජනා කැඳවා ඇතැයිද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවා.