Friday, March 29, 2024

General line - 0115112241

පාතාල කල්ලි ගැන තවත් තොරතුරු මෙන්න




රට පුරා කි‍්‍රයාත්මක පාතාල කල්ලි සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් නෙත් නිවුස් වෙත ලැබී තිබෙනවා. මෙම පාතාල කල්ලි සම්බන්ධයෙන් නෙත් නිවුස් පළමු වරට අනාවරණ කළේ පෙරේදා පස්වරුවේයි.

පොඩි සුජී නමැත්තෙකු විසින් මෙහෙයවනු ලබන පාතාල කල්ලියක් දකුණු පළාතේ කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා. ඉකුත් 2005 වසරේ ඔක්තෝම්බර් මස සිට මේ දක්වා සිදුවූ මනුෂ්‍ය ඝාතන 14ක් සම්බන්ධයෙන් ඔහු සැකකරුවෙක්.

ඉකුත් අගෝස්තු මස 12 වෙනිදා සිදුවූ ගාලු ක‍්‍රිකට් සංගමයේ සභාපති හැලඹගේ පේ‍්‍රමසිරිගේ ඝාතනයට ද පොඩි සුජී සම්බන්ධ බවට සැක කෙරෙනවා. 2011 වසරේ ජනවාරි මස 4 වෙනිදා මහඅම්බලන්ගොඩදී සිදුවූ මාදුවගේ යසරත්න නමැත්තාගේ ඝාතනය ද පොඩි සුජීගේ මෙහෙයවීමෙන් සිදුකර ඇති බවටයි සැකකෙරෙන්නේ.

හැලඹගේ පේ‍්‍රමසිරි විසින් මාදුවගේ යසරත්න ඝාතනය කිරීම සඳහා සිය ගෝලයෙකු මගින් පොඩි සුජීට රුපියල් ලක්ෂ 20ක කොන්ත‍්‍රාත්තුවක් ලබා දී ඇතැයි තොරතුරු ලැබී තිබෙනවා.

හැලඹගේ පේ‍්‍රමසිරි ඝාතනයට ලක්ව ඇත්තේ මෙම කොන්ත‍්‍රාත් මුදල ලබා නොදීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් නිසා බවයි විශ්වාස කරන්නේ.

මේ අතර පොඩි සුජී සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩු 8ක් නීතිපති උපදෙස් සඳහා යොමු කර තිබෙනවා. මෙම නඩු 2005 වසරේ සිට 2008 වසර දක්වා සිදුවූ මනුෂ්‍ය ඝාතන සම්බන්ධ ඒවායි. කෙසේ වෙතත් ඒවායින් කිසිඳු නඩුවකට අදාළව නීතිපති උපදෙස් තවමත් ලැබී නැහැ.

පොඩි සුජීට පවරා ඇති නඩුවක ඇතැම් කරුණු රජයේ රසපරීක්ෂකවරයාගේ උපදෙස් සඳහා යොමු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ උපදෙස් ද තවමත් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

විවිධ අධිකරණ විසින් වරෙන්තු 2ක් ද පොඩි සුජී වෙනුවෙන් නිකුත් කර තිබෙනවා. මෙම කිසිඳු වරෙන්තුවක් ද මේ දක්වා කි‍්‍රයාත්මක වී නැහැ.

පොඩි සුජී පිළිබද තවත් තොරතුරු පහතින් දැක්වේ

වර්ෂ 2005 හේ 10 වැනි මස 05 වැනිදා අම්බලන්ගොඩදී කලුදේවගේ මෙන්ඩිස් නැමැති අය වෙඩි තබා ඝාතනය කිරීම.

ඔහුගේ අපරාධ සම්බන්ධයෙන් ගොනු අංකය වනුයේ ම/උ-82258.

2006.03.03 හික්කඩුවේදී මනෝජ් මෙන්ඩිස්ව වෙඩි තබා ඝාතනය කිරීම. බලපිටිය මහේත්ත්‍රාත් අධිකරණය ම/උ-86146.

2006.05.17 බලපිටියේදී සුදර්ශන මෙන්ඩිස් යන අය වෙඩි තබා ඝාතනය කිරීම. බලපිටිය මහේත්ත්‍රාත් අධිකරණය ම/උ-87807.

2006.08.25 කොස්ගොඩදී රුක්මන් සොයිසා සහ ඔහුගේ දරුවා වෙඩි තබා ඝාතනය කිරීම. බලපිටිය මහේත්ත්‍රාත් අධිකරණය ම/උ-90629.

2007.01.08 අම්බලන්ගොඩදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුව වෙඩි තබා ඝාතනය කිරීම. බලපිටිය මහේත්ත්‍රාත් අධිකරණය ම/උ-93334.

2007.11.12 බෙන්තොටදී ඇඟලුම් කම්හලේ මුදල් කොල්ලකෑම. බලපිටිය මහේත්ත්‍රාත් අධිකරණය ම/උ-49461.

2007.01.20 අවි පෙන්වා බිය ගන්නා මුදල් කොල්ලකෑම. බලපිටිය මහේත්ත්‍රාත් අධිකරණය ම/උ-1819.

2007.02.22 අහුන්ගල්ල අලංකාර නීල් ප්‍රසන්න නැමැත්තා ඝාතනය කිරීම. බලපිටිය මහේත්ත්‍රාත් අධිකරණය ම/උ-46326.

මෙම සියලු නඩු සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කර තිබුණත් මේ වන තෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි වාර්තා වුණේ.

2010.10.10 ඇල්පිටිය ප්‍රදේශයේදී අජිත් කුමාර රණසිංහ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම. බලපිටිය මහේත්ත්‍රාත් අධිකරණය ම/උ-66675.

2011.01.04 අම්බලන්ගොඩදී මාදුවගේ යසරත්න නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම. බලපිටිය මහේත්ත්‍රාත් අධිකරණය ම/උ-33968.

2016.02.16 බලපිටිය අධිකරණය ඉදිරිපිටදී ආරච්චිගේ පියරත්න සහ රසික සම්පත්ව වෙඩි තබා ඝාතනය කිරීමට අනුබලදීම. බලපිටිය මහේත්ත්‍රාත් අධිකරණය ම/උ-87813. මෙය රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබෙනවා.

2016.07.18 අම්බලන්ගොඩ බලපිටිය මාර්ගයේදී මාදුවගේ සරත් නිමල් සිල්වා ඝාතනය කිරීම. 2011.01.04 දින අම්බලන්ගොඩදී වෙඩි තබා ඝාතනය කෙරුණු මාදුවගේ යසරත්න නැමැත්තා ඔහුගේ සහොදරයායි.

2016.08.12 මහඅම්බලන්ගොඩදී ගාලු ක්‍රිකට් සංගමයේ සභාපති හැලඹගේ ප්‍රේමසිරි ඝාතනය කිරීම.

මෙම අපරාධකරු 2005 වසරේ සිට මේ දක්වා ඝාතන 14 ක් සිදු කර ඇති බවට හඳුනාගෙන තිබෙනවා.