Friday, April 26, 2024

General line - 0115112241

VAT සංශෝධනයෙන් සහනත් එයි




එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද ඉහළ නැංවීම සඳහා ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමි වුවද පෙර ඉදිරිපත් වූ සංශෝධනවලට සාපේක්ෂව සහන රැසක් ලබා දී ඇතැයි ආණ්ඩුව පවසනවා. ඒ අනුව වැට් බද්ද සියයට 11 සිට 15 දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

නව පනත් කෙටුම්පත අනුව සුළු වෙළෙඳුන්ට සහනයක් ලබාදීමට පියවර ගෙන ඇති අතර බද්දට යටත් වන වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 50 දක්වා ඉහළ දැමීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ. මීට පෙර ඉදිරිපත් වූ යෝජනාවේදී වාර්ෂික පිරිවැටුම මිලියන දොළහේ සිට ඉහළට වැට් බද්දට යටත් වුණා. ඒ අනුව රුපියල් තිස් තුන් දහසක දෛනික වෙළෙඳාමක් කරන සුළු වෙළෙන්දන් ද වැට් බද්දට යටත් වීම හේතුවෙන් පෙර ඉදිරිපත් කෙරුණු පනත් කෙටුම්පතට දැඩි විරෝධයක් එල්ල වුණා. මීට අමතරව වෛද්‍ය රසායනාගාර ගාස්තු, පෞද්ගලික රෝහල්වල බාහිර රෝගී අංශ ගාස්තු සහ රුධිර කාන්දු පෙරන කටයුතු ද වැට් බද්දෙන් නිදහස් කිරීමට ද නව සංශෝධනය මගින් කටයුතු කර තිබෙනවා.

මෙම බදු සංශෝධනය ද මාස 9ක කාලයක් සඳහා පමණක් ඉදිරිපත් කර ඇති බවයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කළුතර ප‍්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකදී සඳහන් කළේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය පැවසුවේ අලූතෙන් සම්මත කරගත් පනත් කෙටුම්පතේ කිසියම් නීතිමය ගැටලූවක් පැවතියහොත් ඊට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි.