Tuesday, September 24, 2024

General line - 0115112241

දිවිනසා ගැනීම් වළකන්න හැමෝටම වගකීමක් පැවරෙනවා




මාතර කාලිදාස ප‍්‍රදේශයේ දී තරුණයෙකු දුම්රියකට ගෙල තබා දිවි නසාගත් බවට ඊයේ (08) පළ වූ පුවත මේ වනවිට බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබෙනවා.

මෙම දිවි නසා ගැනීම දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන ද මාධ්‍ය වෙත ලැබී ඇති අතර සමාජ වෙබ් අඩවි ඔස්සේ ද ඒවා වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා.

පුද්ගලයෙකු මෙලෙස දිවිනසා ගැනීමට පෙළඹෙන්නේ ඇයි ? එවැනි ඛේදනීය සිද්ධීන් වළක්වා ගැනීමට ගත යුතු ක‍්‍රියාමාර්ග මොනවාද ? නෙත් නිව්ස් ඒ පිළිබඳ විමසා බැලීමක් කළා.

කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් කියා සිටියේ පෞර්ෂ දුර්වලතා නිසා ඇතැම් පුද්ගලයින් ක්ෂණික ආවේග දරා ගැනීමට අසමත් වන බවයි. මව්පියන්ගේ අවවාද කිරීමක් හෝ පේ‍්‍රම සම්බන්ධයක් බිඳ වැටීම වැනි ඉතා සුළු කරුණකදී පවා එවැන්නන් දිවි නසා ගැනීමට පෙළඹෙන බව ඔහු පෙන්වා දුන්නා.

මේ අතර ඇතැම් සමාජ කාරණා ද පුද්ගලයින් සියදිවි නසා ගැනීමට පොළඹවාලන බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් කියා සිටියා.  විවිධ අපචාරමය ක්‍රියා හරහා අද සමාජය වඩාත් අනාරක්ෂිත වී ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ. තවත් අතෙකින් ජීවත්වීම සඳහා සිදු කරන්නට වී ඇති අරගලය මතද මෙවැනි සියදිවි නසා ගැනීම් බහුල වශයෙන් සිදු වෙන බවත් පැවසුවා.

පුද්ගලයින් දිවිනසා ගැනීම වළක්වාලීම සඳහා සමාජයේ සෑම අයෙකුටම පැවරුණු අත්හැරිය නොහැකි වගකීමක් තිබෙන බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

(එම හඬපටය පහතින් අහන්න) 

අධ්‍යාපන ක‍්‍රමයේ ද සැලකිය යුතු වෙනසක් සිදු විය යුතු බවයි මෙම සංවාදයේ දී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වමින් සඳහන් කළේ පුද්ගලයෙකුට ඇතිවෙන ගැටළුවක් විසඳා ගත හැකි මාර්ග පිළිබඳව පාසල් අධ්‍යාපනය තුළදී දැනුවත් කෙරෙන ක්‍රියාවලියත් ඇතුළත් කළ යුතු බවයි.

විශාධය වැනි මානසික දුර්වලතාවලින් පෙළෙන්නන් හෝ දිවි නසා ගැනීමට නැඹුරුවක් ඇති පුද්ගලයින් හඳුනාගත හොත් හැකි ඉක්මණින් ඔවුන් වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ යුතු බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.