මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත්තේ ලකුණු 196කට හිමිකම් කියූ මාතර උෟරුගමුව මෙතෝදිස්ත කනිෂ්ඨ විද්‍යාලයේ සිතිජ නිරාන්ය. සිතිජ තනිව ලකුණු 196ක් ලබා ලංකාවෙන් පළමු තැන ගනිද්දී, ළමුන් තිස් එක් දෙනෙකු සමග ලකුණු 5037 ගනිමින් ජේ.එම් අමිල ප්‍රසාද් ජයසේකර ලංකාවේ හොඳම ශිෂ්‍යත්ව ගුරුවරයා වන්නේ, මහව අධ්‍යාපන කලාපයේ, ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාශයේ, ඇහැටුවැව ඒරියාව මහින්ද කණිටු විද්‍යාලය ලංකාවේ ශිෂ්‍යත්ව විභාගයට ළමුන් ඉදිරිපත් කළ පාසල් අතුරින් කාර්ය සාධන මට්ටම අනුව හොඳම පාසල බවට පත්කරමිනි.
1994 වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් අමිල ලකුණු 147ක් ලබා ගන්නේ උහුමිය ඩී.එස් සේනානායක මාහා විද්‍යාලයේ සිසුවකු ලෙසිනි. ඒ වසරේ එම විද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇති අතර, අද පළමුවැනියා වන අමිලට එදා හිමිව ඇත්තේ 12 ස්ථානයයි.
ශිෂ්‍යත්ව විභාගය සමත්වන අමිලට ද්වීතීක අධ්‍යාපනය සඳහා හිමිවන්නේ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයයි. 2003 වසරේදී උසස් පෙළ කලා අංශයෙන් විභාගයට පෙනී සිටින අමිලට ඉන් සමත්ව කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළුවනවා. අමිලට ගුරුවරයකු වීමට මග හසර පෑදෙන්නේ සරසවි අධ්‍යාපනය ඔස්සේමය.
“මට කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයට ඇතුළු වෙන්න අවස්ථාව උදාවුණා. අවුරුද්දටම සිසුන් 60යි ඒ පාඨමාලාවට තෝරාගන්නෙ. මට ඒ වාසනාව උදාවුණා“ යැයි අමිල පවසද්දී, ඔහු කාර්ය සාධන මට්ටමින් ඉහළින්ම වැජඹුනත් මා මුවින් එකවරම ගිලිහුනේ “උපාධි ගුරුවරයෙක් වෙලා ඇයි ප්‍රාථමික පන්තිවලට උගන්වන්නේ?“ යන්නයි. “අපේ පාඨමාලාවෙ තියෙන විශේෂත්වය තමයි ඒක. ඕනම පන්තියක ඕනම විෂයක් උගන්වන්න පුළුවන් කෙනෙක් විදියටයි අපි උපාධිය සම්පුර්ණ කරන්නෙ“
2010 වසරේදී ගුරුවරයකු ලෙස පත්වීම ලබන අමිලට රාජකාරිය කරන්නට ලැබෙන පළමු පාසල වන්නේ ඇහැටුවැව ඒරියාව මහින්ද කණිටු විද්‍යාලයය.
කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අමිලට, තම පළමු පත්වීම තම දිස්ත්‍රික්කයේම පාසලකට ලැබුනද දිනපතා ගෙදර සිට යාම් ඒම් කරන්නට හැකියාවක් තිබුණේ නැත. ගොවිතැන ජීවිකාව කරගන්නා බහුතරයක් සිටිනා ඒරියාව ගමේ හෝ අවට ගමක නවාතැනක්ද අමිලට ලැබුණේ නැත. අමිල තම නවාතැන කරගත්තේ තම පාසලේම කාමරයකි.
ඒ බව අමිල කියන්නට පෙර අපට පැවසුවේ මහව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අරුණ ශාන්ත මහතාය. “ඔය ගුරුතුමා කුරුණැගල පැත්තෙ ගොඩක් දුර බැහැර ඉඳල ඇවිත් ඉස්කෝලෙම කාමරයක නැවතිලා ඉඳන් ගොඩක් දුෂ්කර ජීවිතයක් ගතකරමින් තමයි ඔය වැඩේ කළේ.“ පාසලේ විදුහල්පති ආර් එම් තිලකරත්න මහතාගෙන් ඊට ලැබෙන නායකත්වයද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අගය කළේය.
අමිලට නවාතැන් ලෙස ලැබෙන්නේ සුව පහසු ගුරු නිවාසයක කාමරයක් නොවේ. අතැර දැමූ පාසලක ජරාවාස වූ ගුරු නිවාසයක කාමරයකි. වසර කිහිපයක් ගෙවු ඒ දුෂ්කර ජීවිතය නිමා කරමින් මේ වනවිට ගුරු නිවාසය නම් අලුත්වැඩියා කොට ඇති බවද ඔහු පවසන්නේ සොම්නසිනි.
“මම මේ ඉස්කොලෙට ආපු 2010 අවුරුද්දෙ එක වසරෙ ළමයි 20ක් හිටිය. දෙක තුන වසරවල එක ළමයෙක්වත් නැහැ. පාසල වැහෙන්න ගිහිල්ල තිබුණ පාසලක්. විදුහල්පති තුමාගෙ ධෛර්‍යයෙන් තමයි ළමයි ආයෙ එකතුකර ගත්තෙ.
2010 වෙද්දි 4 වසරෙ ළමයි 10ක් හිටිය. ඒ ළමයි 10 දෙනාට තමයි මම ඉස්සෙල්ලම ඉගැන්නුවෙ. ඒ ළමයි 2011දි ශිෂ්‍යත්ව විභාගෙට ලියල දෙන්නෙක් පාස් වුණා. 2010 අවුරුද්දෙ එක වසරෙ හිටිය ළමයිටික තමයි ඊළඟට මට භාර වුණේ ඒ ළමයි 2014දි ශිෂ්‍යත්වය ලිව්වෙ. ඒ 20න් 09ක් පාස්වුණා. මේ සැරේ ළමයි ටික තමි මට ලැබුණු ඊළඟ කණ්ඩායම. මේ වතාවෙ ළමයි 31න් 19ක් පාස්. ලකුණු 188ක් ගණිපු ළමයි දෙන්කෙුත් ඉන්නව. අඩුම ලකුණු තියෙන විභාගය සමත් ළමයටත් ලකුණු 162ක් තියෙනව. විභාගෙ පාස් වුණේ නැති ළමයි 12 දෙනාගෙන් අඩුම ලකුණු ගත්ත ලමයටත් ලකුණු 125ක් තියෙනව.“
තිස් එක්වැනි වියේ පසුවන මේ ආදරණිය ගුරුවරයාගේ අහිංසක බලාපොරොත්තුව, රැයක් රැයක් ගානේ අලි ගම්වදිනා මේ දුෂ්කර ගම්මානයේ උපන් ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 188ක් ගත් දරුවන් දෙදෙනා කුමන දෙමාපියන්ට කුමන ආර්ථික දුෂ්කරතා තිබුණද කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරවීමය.
“මම අවුරුදු ගණනක් ඉන්න කාමරේ ළඟටත් රෑට රෑට අලි එනව. මේ ගමේ මිනිස්සු රෑට ජීවත් වෙන්නෙ කුඹුරෙ හරි හේනෙ හරි රූස්ස ගහක් උඩ තියෙන පැලක.“ ඒ පමණක් නොවේ අමිලට ඕනෑම වෙලාවක දුරකතන ඇමතුමක් ගන්නටවත් හැකියාවක් නැත. ඒ ඔහු විටින් විට දුරකතනය විසන්දි කරන නිසා නොවේ. ඔහු සිටිනා පාසලට හරියට ජංගම දුරකතන සංඥා හෝ නොලැබෙන නිසාය.
ඔහු ලවා මේ ඡායාරූප කිහිපය විද්‍යුත් තැපෑලෙන් ගෙන්වා ගැනීමට ඔහු පැය කිහිපයක් තැන තැන යමින් වින්ද දුක ඊට හොඳම සාක්ෂියයි. අවසානයේ ඔහු මට පැවසුවේ පාසලට තරමක් දුරින් ඇති කඳු ගැටයකට ගොස් හෝ ඡායාරූප එවන්නම් කියාය.
මායාරංජන් ලියූ ”දිගාමඩුල්ලේ ආශ්චර්යය” පොතෙහි ලියැවී ඇති මෙන් දුෂ්කර ජීවිතයක් ගෙවමින් සිටිනා මේ තරුණ ගුරුවරයා, මේ වනවිට රටේ දරුවන්ට වඩා දෙමාපියන් උනන්දුවන විභාගයක් වන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට ළමුන් සූදානම් කිරීම සඳහා මෙරට සිටිනා හොඳම ගුරුවරයාය. ඔහුට මේ දුෂ්කර ක්‍රියාවෙන් මිදෙන්නට හොඳව අවස්ථාවද මෙයයැයි මසිතට සිතුනු නිසා, “දැන් ඔයා මේ අවුරුද්දෙ හොඳම ශිෂ්‍යත්ව ගුරුවරය, මොකක්ද ඊළඟ කල්පනාව යැයි ඇසුවේ ඔහු මේවනවිට අවුරුදු 5කටද වැඩි කාලයක් මේ පාසලේ රාජකාරිද කර ඇති නිසාය.
ඔහු දුන් පිළිතර වූයේ “මම තව කාලයක් මෙහේම ඉන්නවා…“