Sunday, December 22, 2024

General line - 0115112241

එක් ලකුණකට රු .56000ක් ගෙවලා! ක්‍රිකට් ලොකු ලොක්කෙක් හෙළිකරන සියලු තොරතුරු මෙන්න!



ක්‍රීඩකයින්ට ගෙවීම් කිරීම සඳහා නව ක්‍රමයක් හඳුන්වා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙය ක්‍රීඩකයින්ගේ සාමූහික හා තනි පුද්ගල දක්ෂතා මත පදනම් වූ ක්‍රමයක් බවයි පැවසෙන්නේ.

මින් පෙර පැවති ක්‍රමය හා සසඳන කල මෙම ක්‍රමය හරහා ක්‍රීඩකයින්ට මින් පෙර පැවති වාර්ෂික වැටුපට වඩා සියයට 42ක ප්‍රමාණයක් අඩු වුවද,දක්ෂතා මත මින් පෙර ලැබූ මුදල හෝ ඊටත් වඩා මුදලක් ලබාගත හැකි බව ක්‍රිකට් නිළධාරීහූ කියති.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මෑත කාලීන දස්කම් දිගින් දිගටම පිරිහෙමින් පැවතීම නිසා කී‍්‍රඩකයන්ගේ දස්කම් ඉහළ දැමීමේ දිරිගැන්වීමක් ලෙසින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තාවන්නේ

”කලින් පැවැති ගිවිසුම අනුව කී‍්‍රඩකයන්ගේ වැටුප ලෙස සෑහෙන මුදල් ප‍්‍රමාණයක් ගෙවනු ලැබුවා. ඒත් එහෙම වුණා කියලා ඔවුන්ගේ දස්කම් වැඩි දියුණු වුණේ නෑ. කණ්ඩායම එන්න එන්නම පරාජය වුණා”

”ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය 3-0 කින් ජයගත්ත කණ්ඩායමක් එක්දින තරගාවලියේ පළමු තරග දෙක අවසන් වන විට 1-1 ක් ලෙසින් සමව සිටියත් ඊට පස්සේ තරගාවලිය 1-4 ක් ලෙසින් පරාජය වුණා….අපි කී‍්‍රඩකයන්ට වැටුප් ගෙවනවා නම් ඔවුන් වැටුපට සරිලන යමක් කළ යුතුයි” යැයි ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු පවසනවා.

ඕස්ට්‍රේලියාව හා පැවති ටෙස්ට් තරඟාවලිය ජයගත්තත් එක්දින හා විස්සයි විස්ස තරඟාවලි දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

එමෙන්ම මෑතකලිනව පැවති එක්දින තරඟ 17න් ශ්‍රීලංකා කණ්ඩායම ජයගෙන ඇත්තේ තරඟ 4ක් පමණි.ඉන් තරඟ 2ක්ම අයර්ලන්තයට එරෙහිවයි.එමෙන්ම මේ වසරේ සහභාගී වූ විස්සයි ව්ස්ස තරඟ 16න් ජයගෙන ඇත්තේ තරඟ 3ක් පමණි

වෘත්තියත්වය යනු වැඩි දස්කම් වෙනුවෙන් වැඩි මුදලක් ගෙවීම බවත්,දස්කම් වැඩිකරගෙන ඉහළ ආදායමක් ලබාගන්නා ලෙස ක්‍රීඩකයන්ගේ ගෙවීම් සම්බන්ධයෙන් අදහස් පළකල තවත් නිළදාරියෙකු පවසනවා.

‘‘පසුගිය කාලයේදී මාස 15 ක් ඇතුළත එක කී‍්‍රඩකයකුට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් ගෙවලා තියෙන වැටුප ඔහු ලබාගත් අන්තර්ජාතික ලකුණු වලින් බෙදලා බැලූවාම එක ලකුණකට රුපියල් 56,000 ක් වෙලා තියෙනවා” යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවා

ටෙස්ට් තරඟයක් පරාජය වන්නේ නම් නව ගිවිසුම අනුව ටෙස්ට් තරගයක් සඳහා කරන ලද ගෙවීම 33% කින් අඩුකර තිබේ.නමුත් ටෙස්ට් තරගයක් ජයගන්නා සෑම අවස්ථාවකදීම කී‍්‍රඩකයන්ගේ තරග මුදල පසුගිය වසරේ ටෙස්ට් තරගයක් සඳහා ගෙවූ මුදල මෙන් 133% ක් වනු ඇත.

ටෙස්ට් තරගාවලියක් ජයගැනීමේදී තවත් ප‍්‍රසාද මුදලක් කී‍්‍රඩකයන්ට එකතු වන අතර 3-0 ක තරගාවලි ජයක් ලබාගත හැකි නම් අති විශේෂ ප‍්‍රසාද දීමනාවක් කී‍්‍රඩකයන්ට හිමිවේ. ඊට අමතරව ටෙස්ට් ශතකයක් හෝ ඉනිමකදී කඩුලූ 5 ක් දවාගන්නා සෑම අවස්ථාවකදීම ටෙස්ට් තරගයකට ගෙවනු ලබන වැටුප පාරිතෝෂිකයක් ලෙසින් ගෙවන බවද ගෙවනු ලබයි.

මෙම කොන්දේසි අනුව තරගයක් පරාජය නොවී තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලි දෙකක් ජයගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් සමත් වේ නම් එම කණ්ඩායමේ සාමාජිකයකු වෙමින් ශතක දෙකක් හෝ ඉනිම දෙකකදී කඩුලූ 5 ක් බැගින් ලබාගන්නා කී‍්‍රඩකයකුට ටෙස්ට් තරග 12 ක වැටුප හිමිකර ගැනීමට අවස්ථාව තිබේ.

පසුගිය වසරේ වාර්ෂික ගිවිසුම අනුව එක්දින සහ විස්සයි විස්ස තරගයක් වෙනුවෙන් ගෙවන ලද වැටුප අඩුකර නැත. එහෙත් එක්දින තරගයකදී ශතකයක් හෝ කඩුලූ 5 ක් දවාගන්නා කී‍්‍රඩකයකුට පාරිතෝෂිකයක් ලෙසින් ටෙස්ට් තරගයක වැටුප ගෙවනු ලැබේ. විස්සයි විස්ස තරගයකදී ශතකයක් හෝ කඩුලූ 5 ක් දවාගන්නා කී‍්‍රඩකයකුට ටෙස්ට් තරගයක වැටුප මෙන් 150% ක් පාරිතෝෂිකයක් ලෙසින් හිමිවනු ඇත.

මේ මස අවසන් සතියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිත අතර ඉන් පෙර මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

සිම්බාබ්වේ – ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් තරගය මේ මස 29 වැනිදා සිට නොවැම්බර් 2 වැනිදා දක්වා හරාරේ නුවරදී පැවැත්වේ.