Monday, September 23, 2024

General line - 0115112241

මෝදිට අනුව රාවණා ත්‍රස්තවාදියෙක්




ශ‍්‍රී ලංකාවේ ගෞරවාදරයට පත් වූ සහ ආන්දෝලනාත්මක රජ කෙනෙකු ලෙස සැලකෙන රාවණා රජු ත‍්‍රස්තවාදියෙකු ලෙස හැඟී යන අයුරින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදුකළ ප‍්‍රකාශය මේ වන විට දැඩි කතාබහක් මතු කර තිබෙනවා.

නරේන්ද්‍ර මෝදි මෙම ප‍්‍රකාශය සිදුකළේ ඉන්දියාවේ ලක්නව් හි පැවති දුෂෙහ්රා උත්සවය අමතමින්. හින්දු ආගමිකයින්ගේ වැදගත්ම ආගමික උත්සවයක් වන දුෂෙහ්රා උත්සවය පැවැත්වෙන්නේ ද රාවණා රජුට එරෙහිව රාම කුමරුන් ලැබූ ජයග‍්‍රහණය සැමරීම සඳහායි.

ඒ වෙනුවෙන් පැවති උත්සවයේදී නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කර තිබුණේ ‘‘ත‍්‍රස්තවාදය යනු රාවණාගේ නව යුගය’’ බවයි.

ත‍්‍රස්තවාදයට එරෙහි ලොව ප‍්‍රථම සටනේදී රාම කුමරුන් රාවණා රජු පරාජය කළ බවයි ඔහු එහිදී ප‍්‍රකාශ කළේ. සෑම වසරකම හින්දු ජාතිකයින් රාවණා රජුගේ පිළිරුවක් ගිනි තබා විනාශ කළ ද අවශ්‍ය වන්නේ රාවණා ඉන්දියානුවන්ගේ මනසින් අළු කර දැමීම බවයි මෝදි පවසා ඇත්තේ. මෙම කතාවේදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ත‍්‍රස්තවාදය මනුෂ්‍යත්වයේ සතුරෙකු බවයි.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා රාවණා රජු සම්බන්ධයෙන් සිදුකළ ප‍්‍රකාශය රාවණා ශක්ති ජාතික සංවිධානය හෙළා දැක තිබෙනවා. එහි ලේකම් දුලිප් සංජය ප‍්‍රකාශ කර ඇත්තේ රාවණා රජු ත‍්‍රස්තවාදියෙකු ලෙස රාමායනයේ පවා හඳුන්වා දී නොමැති බවයි.

මෝදි වැනි නායකයෙකු විසින් මෙවැනි ප‍්‍රකාශයක් සිදුකරනු ලැබීම කණස්සල්ලට කරුණක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ක‍්‍රිස්තු පූර්ව 2554 සිට ක‍්‍රිස්තු පූර්ව 2517 දක්වා රාවණා රජු ශ‍්‍රී ලංකාවේ රාජ්‍යත්වය හෙබ වූ බවටයි පැවසෙන්නේ. රාමායනයට අනුව රාවණා යුගය විජය රජුගේ ශ‍්‍රී ලංකා ආගමනයෙන් වසර 1844කට පෙර පැවති බව සඳහන්.

(ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදුකළ ප‍්‍රකාශය පහතින් දැක්වෙයි)

rwana02