Saturday, April 20, 2024

General line - 0115112241

අවම බලය ක්‍රියාවට නැංවිය හැකියි




යාපනයේදී සරසවි සිසුන් දෙදෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ පොලීසියට නොනවත්වා ධාවනය කරන රියකට වෙඩිතැබීමට කිසිඳු බලයක් නැති බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර අදහස් දක්වමින් සඳහන් කළේ පොලීසියට මෙවැනි අවස්ථාවකදී අවම බලය හා අවශ්‍ය බලය ක්‍රියාවට නැංවිය හැකි බවයි. කලින් ප්‍රකාශ වූ අදහස්වලට සමාන ප්‍රචාරයක් තමාගේ ප්‍රකාශයටත් ලබාදෙන ලෙසත් පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළා.

අද (25) 150 වන පොලිස් දින සංවත්සරය වෙනුවෙන් අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වෙමින් මාධ්‍යවේදීන් හමුවේ පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

පොලිස් ආඥා පනතේ 53 වන වගන්තිය යටතේ පොලීසියට අවම බලය හා අවශ්‍ය බලය පාවිච්චි කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කරුණු දැක්වෙන බවත්, මීට අමතරව අපරාධ නඩු විධාන සංග්‍රහය, සාක්ෂි ආඥා පනත, දණ්ඩ නීති සංග්‍රහය ආදීයෙහිද පොලිසිය ක්‍රියා කළ හැකි ආකාරය සම්බන්ධයෙන් දැක්වෙන බවත් පෙන්වා දුන්නා.

එහිදී වැදගත් වන්නේ එකී බලය භාවිතා කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණයවීම හෝ නොවීම පිළිබඳ කාරණය බවත් ඔහු සඳහන් කළා.

නමුත් මෙම සිද්ධියේදී පොලිස් නිලධාරීන්ගෙන් අඩුපාඩුවක් සිදුව ඇති බවයි පොලිස්පති පූජිත් ජයසුන්දර පැවසුවේ.

එසේ වෙඩිතැබීමට තරම් වාතාවරණයක් තිබුණේද යන්න ගැටළු සහගත බවත් එතැනදී මංකොල්ලකෑමක්, සංවිධානාත්මක ලෙස සිදුකරනු ලැබූ ප්‍රහාරයක්, ජීවිත තර්ජනයක් හෝ තිබුණු අවස්ථාවක් විය නොහැකි බව පොලිස්පතිවරයා සඳහන් කළා

චුන්නාකම් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කපා කොටා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කරනු ලැබීමෙන් පසු ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේ එම අවස්ථාවේදී බුද්ධි අංශ නිලධාරීන් සිටියේ නිල ඇඳුමෙන් නොවන නිසා එම ප්‍රහාරය සිදුව ඇත්තේ පොලිස් නිලධාරීන් බව නොදැන බවයි.

පැවති ගැටුමකදී වගකිව යුතු නිලධාරීන් ලෙස අහක බලා සිටීමට නොහැකි බැවින් ඔවුන් මැදිහත්ව ඇති බවත් එහිදී ප්‍රහාරයට ලක්ව ඇති බවත් පෙන්වා දුන්නා.

img_7584 img_7625 img_7628 img_7643 img_7656 img_7661 img_7662