Sunday, September 22, 2024

General line - 0115112241

අගමැතිතුමාගේ “ආවා ගියා” කතාව අතරතුර තවත් කෙනෙක් පාර්ලිමේන්තුව තුළට ඇවිත් ගිහින් (VIDEO)




කෝප් කමිටු රැස්වීම පිළිබඳ ඊයේ (25) පාර්ලිමේන්තුවේදී ඇතිවූ වාද විවාද හමුවේ යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් මියයාම පිළිබඳව ද සංවාද ඇති වෙමින් තිබියදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “ආවා – ගියා”  “ආවා – ගියා” යනුවෙන් අවස්ථා දෙකකදී කළ ප්‍රකාශය ඒ මොහොතේ බොහෝ දෙනා (ජනමාධ්‍ය ද ඇතුළුව) විග්‍රාහ කර ගත්තේ යාපනයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධ වලින් කළ පහරදීමේ වගකීම “ආවා” නැමති කල්ලියක් භාර ගැනීම නිසා අදාළ ප්‍රහාරයට පැමිණි “ආවා” සංවිධානය දැන් “ගියා” යනුවෙන්.

අග්‍රාමාත්‍යතුමා කතා කරමින් සිටින විට ඒ මොහොතේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් එකවර දැඩි විරෝධයක්ද හට ගැනුණා.

ඒ මොහොතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද විපක්ෂයේ දොරින් සභාගර්භයට ඇතුළු වී තිබෙනවා. එම දොර විපක්ෂය දෙස පිටුපසින්ම තිබෙන නිසා ඉදිරිපෙළ අසුන්වල සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතා එකවරම දුටුවේ නැහැ.

ඔවුන් හිටපු ජනාධිපතිවරයා දුටු විගස, අග්‍රාමාත්‍යවරයාගේ කතාවට දිගින්දිගටම බාධා කළා. එම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ නම් කෝප් කමිටුවේ මෙවැනි වාර්තා හෙළි නොවන්නටත් මෙවැනි පරීක්ෂණ සඳහා අඩුම තරමින් වසර 10 ක් වත් කල් ගන්නා බවයි.

එම අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා සභා ගර්භයෙන් පිටවී ගිය අතර අග්‍රාමාත්‍යවරයා යළිත් “ආවා – ගියා” යනුවෙන් පැවසුවා.

(වීඩියෝව පහතින් දැක්වෙයි)