Sunday, September 22, 2024

General line - 0115112241

විජේවීර බිරියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි




ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අවසන් වරට පදිංචිව සිටි නාවලපිටිය උලපනේ නිවස සහ ඉඩම තමාට සහ තම දරුවන්ට ලබා දෙන්නැයි රෝහණ විජේවීරගේ බිරිඳ වන චිත්‍රාංගනි විජේවීර කර තිබූ ඉල්ලීම ගඟඉහළ කෝරලේ ප්‍රාදේශීය ලේකම් මංගල වික්‍රමආරච්චි විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම ඉඩම සහ නිවස රාජසන්තක කරන ලද දේපලක් වන හෙයින් චිත්‍රාංගනි විජේවීරගේ ඉල්ලීම ඉටු කළ නොහැකි බව ප්‍රාදේශීය ලේකම්වරයා ඇයට දන්වා තිබෙනවා.

රෝහණ විජේවීරගේ අභාවයෙන් පසු තමා මෙතෙක් රැඳී සිටි නාවික හමුදා කඳවුරෙන් ඉවත්ව යන හෙයින් තමා සහ දරුවන් වෙත මෙම නිවස සහ ඉඩම ලබා දෙන ලෙස චිත්‍රාංගනි විජේවීර ඉල්ලා තිබුනැයි ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළා.

චිත්‍රාංගනි විජේවීර මෙම ඉල්ලීම කර තිබුණේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශය මාර්ගයෙන්. ඒ පිළිබඳව ඉඩම් කොමසාරිස්වරයා ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් කළ කරුණු විමසීමකදී මීට අදාළ 1990 වසරේ 05 වැනි මස 15 වැනි දින 110/2 දරණ ගැසට් නිවේදනය අනුව මහජන ආරක්ෂක පනතේ 41 (අධිකාරිය) පහ වගන්තිය අනුව ජනාධිපති නියෝගය පරිදි මෙම දේපළ රාජසන්තක කර ඇති බවත් එසේ රාජසන්තක කිරීමෙන් පසු එම ස්ථානය තරුණ සේවා සභාව යටතේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවත් ප්‍රාදේශීය ලේකම්වරයා දන්වා තිබෙනවා.

මෙම පුහුණු මධ්‍යස්ථානයේදී සිසු සිසුවියන් දාහසක් පමණ අධ්‍යාපනය ලබන බවත් එහි මාස 06 ක පාඨමාලා 19 ක් ඇති බවත් තරුණ සේවා සභාව යටතේ මෙම ස්ථානය තව තවත් සංවර්ධනය කිරීම සඳහා අසල ඇති පුද්ගලික ඉඩමක්ද ලබාගෙන ඇති බවත් ඒ අනුව මෙම දේපළ නැවත ලබා දීම ගැටළු සහගත බවත් ප්‍රදේශීය ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

චිත්‍රාංගනි විජේවීරගේ  මෙම ඉල්ලීම පිළිබඳව මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ ගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ චිත්‍රාංගනි විජේවීරගේ මෙම ඉල්ලීම ගැටළු සහගත බවත් එය ඉටු කිරීමට කටයුතු කළහොත් ප්‍රභාකරන්ගේ දේපළත් ඉල්ලා ඔහුගේ ඥාතීන් අයිතිවාසිකම් කියනු ඇති බවයි.

කෙසේවෙතත් මෙම ස්ථානය තරුණ සේවා සභාව යටතේ සාර්ථක පුහුණුවීම් සිදු කෙරෙනවා. තරුණයින් දහස් ගණනක් ඒ තුළින් ඔහුන්ගේ ජීවිත ගොඩනංවාගෙන ඇති බවත් පෙන්වා දුන්නා.