Sunday, December 22, 2024

General line - 0115112241

බැඳුම්කර වංචාව හෙළි කිරීමේ අයිතිය ගැන සජිත්ගෙන් ප‍්‍රකාශයක්




මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූයේ යහපාලන රජය හේතුවෙන් බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

තිස්සමහාරාම නැදිගම්විල කණිෂ්ඨ විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

“රටේ ජනතාව එකදෙයක් අවබෝධ කරගන්න ඕනේ. යහපාලන රජය නොසිටියානම්, මේ වර්ථමාන ජනාධිපතිතුමා නොසිටියානම් , මේ වර්ථමාන අගමැතිතුමා නොසිටියානම් , මේ වර්ථමාන රජය නොතිබුණානම් , සුනිල් හඳුන්නෙත්ති වගේ පුද්ගලයෙක් කෝප් කමිටුවේ සභාපතිවරයෙක් වන්නේ නැත. ඔය හොරකමයි, වංචාවයි එළියට ආවේ මේ යහපාලන රජය තිබුණු නිසා. මේ යහපාලන රජයේ ක්‍රියාදාමය නිසා”.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ කෝප් කමිටුව පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් පල කළා.

“කවුරු කතාකරත් බැඳුම්කර ප්‍රශ්ණය පිළිබඳව, බැඳුම්කර වංචාව පිළිබඳව, මම එකදෙයක් කියන්න කැමතියි මේ බැඳුම්කර වංචාව ජනතාව ඉදිරියට ආවේ පක්ෂ භේදය පැත්තකට දමලා හැමෝම එකට එක්කහුවෙලා තීරණය කළා මේකට හොඳම පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සුනිල් හඳුන්නෙත්ති මැතිතුමයි කියලා. ඒක එදත් අපි විශ්වාස කළා, අදත් අපි විශ්වාස කරනවා, හෙට දවසෙත් හඳුන්නෙත්ති මැතිතුමාගේ කාර්ය භාරය පිළිබඳව අපිට කිසි ගැටළුවක් නැහැ”.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදු කළ පරීක්ෂණයේ වාර්තාව පාර්ලිමේන්තුවට ඊයේ (28) ඉදිරිපත් කළා.

එහි දැක්වෙන්නේ අදාළ ගනුදෙනුවේ දී සිදු වූ වංචාවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වගකිව යුතු බවයි.