Friday, April 26, 2024

General line - 0115112241

“අහිතකර බලපෑම් ගැන සොයන්න” – පරිසර අමාත්‍යාංශයෙන් උපදෙස්




ශ‍්‍රී පාද අඩවියේ ඉදිකෙරෙන හෝටල් ව්‍යාපෘතිය හේතුවෙන් එම සංවේදී පරිසර කලාපයට එල්ල වන අහිතකර බලපෑම් සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශයේ ද අවධානය යොමුව තිබෙනවා.

ඒ, අදාළ ගැටළුව පිළිබඳ නෙත් නිවුස් පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න දැනුවත් කිරීමෙන් පසුවයි.

ඒ අනුව ශ‍්‍රී පාද අඩවියේ සංවේදී පරිසර කලාපයට එල්ල වෙන බලපෑම් පිළිබඳ කඩිනමින් සොයා බලන බවයි ලේකම්වරයා අවධාරණය කළේ. ඒ පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදුන් බව ද ඔහු කියා සිටියා.

මෙම හෝටල් ව්‍යාපෘතිය ඉදි කෙරෙන්නේ මාඋස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි මරේ දියඇල්ලට ආසන්න පෞද්ගලික ඉඩමකයි. කෙසේ වෙතත් එය අයත් ප‍්‍රදේශය ආශ‍්‍රිතව වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින සත්ව හා ශාක හමුවන බවයි පරිසරවේදීන් ද පවසන්නේ.

පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන අදාළ පරිසර කලාපය පිළිබඳ  අනාවරණයක් කරමින් සඳහන් කළේ මෙම පරිසර කලාපය පාංශු සංරක්ෂණ කලාපයක් ලෙස 2008 මැයි මස 22 වැනි දිනැති ගැසට් පත්‍රයක් මගින් නම් කර ඇති බවයි.

සමනළ අඩවියේ ස්වභාවික රක්ෂිතයටද ආසන්නයෙන් පිහිටා ඇති මෙම පරිසර පද්ධතිය තුළ ඉතා ඉහළ ජෛව විවිධත්වයක් ඇති බව හඳුනාගෙන ඇති බවත් සඳහන් කළා. ඒ හේතුවෙන් මෙවැනි සංවේදී පරිසර පද්ධතියටක යම් බලපෑමක් සිදු වෙන ව්‍යාපෘතියක් කරන්නේ නම් ඒ පිළිබඳ පුළුල් පාරිසරික බලපෑම් තක්සේරුවක් සිදු කළ යුතු බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.