Sunday, September 22, 2024

General line - 0115112241

යාපනයේ සිද්ධිය ගැන ජනපති උතුරේදී කතා කරයි




යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාම වැනි සිද්ධීන් උතුරේ හෝ දකුණේ යළිත් ඇති නොවීමට සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ, කංකසන්තුරේ කීරමලේ නැල්ලිනක්කපුරම් ගම්මානය ජනතා අයිතියට පැවරීම වෙනුවෙන් ඊයේ (31) පස්වරුවේ පැවති උත්සවය අමතමින්.

“යාපනයේ විශ්ව විද්‍යාල සිසුන් තම සහෝදර සිසුන්ගේ මරණය පිළිබඳව දැඩි ලෙස කම්පාවට පත්වුණා. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තම නිදහස සහ අයිතිය පාවිච්චි කරනවා අපේ රටේ.

මෙම සිද්ධියේදී යාපනය ප්‍රමුඛ උතුරේ ජනතාව සංසුන්ව කටයුතු කළ ආකාරය පිළිබඳව උතුරේ ජනතාවට මම ස්තූතිවන්ත වනවා. ඒ නිසා එවැනි සිදුවීම් ඇති නොවීමට සෑම අංශයක්ම වගකීමෙන් කටයුතු කිරීම අවශ්‍යයි.

ඒ වගේම තමයි මෙවැනි ඇතිවූ විට මාධ්‍ය කටයුතු කිරීමේ ආකාරය පිළිබඳව අපි වගකීමෙන් ක්‍රියාකිරීම අවශ්‍යයි. මේ රටේ ජනතාව තුළ , .තමන්ගේ හෘද සාක්ෂිය තුළ සංහිඳියාව ශක්තිමත් කරන්න අපි සැම කෙනෙක්ම කැපවෙන්න ඕනේ”.

ජාතික සංහිඳියාව ශක්තිමත් කෙරෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.

මේ අතර අද (01) දිනයේදී ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායකවරයා එකවර මුණගැසීමට යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ට අවස්ථාව ලබාදෙන බව අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් නෙත් නිවුස් වෙත කියා සිටියා.

ඒ, යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (31) සිදුකළ විරෝධතාවයෙන් පසුවයි.