Sunday, September 22, 2024

General line - 0115112241

‘ආවා’ කල්ලිය ව්‍යාපාරිකයෙකු කපා යයි




‘ආවා’ කල්ලියට කප්පම් ලබාදීම ප්‍රතික්ෂේප කළ යාපනයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුව ඊයේ (31) රාත්‍රියේදී තියුණු ආයුධවලින් කපා කොටා තුවාල සිදු කොට තිබෙන බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

කඩු සහ පිහි රැගෙන යතුරු පැදි දෙකකින් පැමිණි ඇති මෙම කල්ලි සාමාජිකයින් හතර දෙනෙකු අදාළ ව්‍යාපාරිකයාට පහරදී වෙළෙද සැලේ බඩුබාහිරාදියද විනාශ කර තිබෙනවා.

කෙසේවෙතත් සුළු වේලාවක් තුළ එම ස්ථානයෙන් ජීප් රථයක් ගමන් කිරීම නිසා ප්‍රහාරයට පැමිණි පිරිස පළාගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳසැලේ සේවකයෙකු පොලීසියට පවසා ඇත්තේ සැකකරුවන් පලායන අවස්ථාවේදී ව්‍යාපාරිකයාව කඩුවකින් කපා පලාගිය බවයි. ඔවුන් පලා යන අතරතුර ව්‍යාපාරිකයාට යළිත් අනතුරු අඟවා ගිය බවත් පවසා තිබෙනවා.

මේ අතර වන්නි ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත්තේ “ආවා ගෲප්” මංකොල්ලකෑමේ නිරත කණ්ඩායමක් බවට පොලීසිය සහ ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති බවයි.

මෙම කල්ලියට බියවී දකුණේ ජනතාව උතුරු පළාතට පැමිණීම සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇතිකර නොගත යුතු බවද ඔහු කියා සිටියා.

මෙම කල්ලියේ බලපෑම යාපනය, කිළිනොච්චිය හා මුලතිවු යන පළාත්වලට පමණක් සීමා වී ඇති බවද පෙන්වා දුන්නා. කෙසේවෙතත් එම තත්ත්වය ඉතා ඉක්මනින් මැඩ පැවැත්වීමට ක්‍රියාකරන බවත් පෙන්වා දුන්නා. මීට පෙරත් ආවා කල්ලියේ නායකයා පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ බවත් ඊට පසු පැමිණි දෙවන නායකයා මෙම මංකොල්ලකෑම් හී නිරත වෙන බවත් පැවසුවා.

යුද්ධයෙන් පසුව එළඹි සාම කාලයේදී උතුරු පළාතේ වවුනියාව හා මන්නාරම යන දිස්ත්‍රික්කයන් කිසිඳු ප්‍රශ්නයක් ඇති නොවන අන්දමට පාලනය කිරීමට හැකි වී ඇති බවත් වන්නි ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සඳහන් කළා.

jaffna-01 jaffna-02