Friday, April 26, 2024

General line - 0115112241

දීමනා අපිට එපා – ඉල්ලන්නේ දෙන්න බැරි දෙයක් නෙවෙයි




වසර 12 ක සේවා කාලය සම්පූර්ණ නොකර ස්වකැමැත්තෙන් විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට ද විශ‍්‍රාමික දීමනාවක් ලබාදීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ ජනාධිපතිවරයා ඊයේ (01) පස්වරුවේ ඊට අදාළ නිර්දේශ නිලධාරීන්ට ලබාදුන් බවයි.

වසර 12 ක සේවා කාලය අවසන් කර විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට සහ වසර 12 ක සේවා කාලය අවසන් නොකර සිය කැමැත්තෙන් විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට මේ වනවිට මූලික වැටුප සහ දුබලතා විශ‍්‍රාම වැටුපත් රජය විසින් ගෙවනු ලබනවා. වසර 12 ක සේවා කාලය අවසන් කර විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට හිමිවන සේවා විශ‍්‍රාම වැටුප පමණක් වසර 12 ක් සම්පූර්ණ නොකර සේවයෙන් ඉවත් වූ ආබාධිත රණවිරුවන්ට මෙතෙක් හිමි වූ අතර මේ කෙරෙහි කිසිදු රජයක් අවධානය යොමුකර තිිබුණේ නැහැ.

ආබාධිත රණවිරුවන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම සලකා බලා ලබන වසරේ පෙබරවාරී මාසයේ සිට අදාළ දීමනාව ලබාදීමට තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. යුද හමුදා නීතිය අනුව ආබාධිත රණවිරුවෙකුට සේවා විශ‍්‍රාම වැටුපකට හිමිකම් කිීමට නම් සෙසු නිලයන් වසර 12 ක සේවා කාලයක් ද, නිලධාරීන් වසර 10 ක සේවා කාලයක් ද සම්පූර්ණ කළ යුතුයි.

මේ අතර සේවා විශ‍්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා වසර 12 ක සේවා කාලයක් සම්පූර්ණ නොකළ ආබාධිත රණවිරුවන් පිරිසක් කොළඹ දී විරෝධතාවක නිරත වනවා. මේ සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විරෝධතාවට එක්ව සිටින ආබාධිත රණවිරුවන් අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා. ඉන් අනතුරුව රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගයේ සාමාජික කෝප‍්‍රල් ආර්. සුගත් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වූවා.

“අපි ඉල්ලුවේ යෝජිත සේවා ව්‍යවස්ථාව ලබාදෙන්න කියල. නමුත් අපි ඉල්ලපු දේ ලැබුණෙ නෑ. ඒ නිසා අඛන්ඩවම මේ වෙනුවෙන් සටන් කරනවා.“

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්නගෙන් විමසීමක් කළා.

“ඒගොල්ලො කරන ඒ ඉල්ලීම ලබන වසරේ පෙබරවාරි සිට දීමනාවක් ලෙස ලබාදෙන්න තීරණය කර තියෙනව. ඒ අයට එය පැහැදිළි කළා“

කෙසේ වෙතත් රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගයේ සාමාජික කෝප‍්‍රල් ආර්. සුගත් සඳහන් කළේ අදාළ ප‍්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.

“ඔවුන් අපිට දුන්න ලියවිල්ල අපි ගත්ත. නමුත් එයට එකඟ නැහැ. එහි පරස්පරතා ගොඩක් තියෙනවා“

ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම්වලට සම්පූර්ණයෙන් විසඳුම් ලබා දී ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළේ.

“සේවා කාලය අවුරුදු 12ට අඩුනම් විශ්‍රාම වැටුපට හිමිකම් නැහැ. සමකාලියන්ට වගේම වැටුප දීමනා සහ දුබලතා වැටුප කියල එකකුත් ලැබෙනව. පෙබරවාරි සිට දෙන දීමනාව ඊට අමතර එකක්. ජනාධිපතිිතුමා උපදෙස් දුන්නේ 55න් පස්සෙත් මේ සියළු දීමනා සහ වැටුප ජීවිත කාලයටම දෙන්නයි.“

යුද්ධය පැවති කාල සීමාවේ දී ආබාධිත රණවිරුවන්ට ලබාදුන් පොරොන්දු රජය අමතක කර ඇති බව ද රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගයේ සාමාජික කෝප‍්‍රල් ආර්. සුගත් වැඩිදුරටත් සඳහන් කළා.

“ඔයාලා පූර්ණ ආභාධීතයි ඔයාල සියළු වරප්‍රසාද සහිතව යන්න කියල කිවිවෙ රජයමයි. 2014 කැබිනට් අනුමැතියක් මේකට ලැබිල තියෙනව. මේක කරන්න බැරි වැඩක් නෙවෙයි.“