Sunday, September 22, 2024

General line - 0115112241

නෙත් නිවුස් අනාවරණයෙන් පසු ශ‍්‍රී පාදය ගැන ආණ්ඩුවෙන් පොරොන්දුවක්




පරිසරයට හානි කරමින් ශ‍්‍රී පාද රක්ෂිතය මායිමේ සංචාරක හෝටලයක් ඉදිකරන්නේ නම් ඊට එකඟ නොවන බව ආණ්ඩුව පවසනවා.

නෙත් නිවුස් ඉකුත් දා කළ අනාවරණයක් සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද (02) පැවැත් වූ මාධ්‍ය හමුවේ දී කළ ප‍්‍රශ්න කිරීමකදී නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මේ බව ප‍්‍රකාශ කළා.

එහිදී හෙතෙම පැවසුවේ “ශ්‍රී පාද රක්ෂිතයේ කිසිම අලුත් ඉදිකිරීමක් කෙරෙන්නෙ නැහැ. පරිසර හානියක් වෙනවා නම් ඒක ශ්‍රී පාද රක්ෂිතයේ තිබුණත් නොවුනත් ඉඩ දෙන්න හොඳ නැහැ. පුද්ගලික ඉඩමක නිවාඩු නිකේතනයක් නවීකරණය කර ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මෙම ගැටළු සහගත තත්ත්වය මතුවෙලා තියෙනවා.” යනුවෙන්ද පැවසුවා.

මේ අතර ශ‍්‍රීපාදස්ථානය, උතුරේ සහ නැගෙනහිර පිහිටි පුරාවිද්‍යාත්මක වැදගත්කමක්ද සහිත බෞද්ධ උරුමයන් සංරක්ෂණය කර රැකගැනීමට සුදුසු පියවර ගන්නැයි සංවිධාන කිහිපයක් අද යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලීමක් කළා.

බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් සඳහන් කළේ ශ්‍රී පාදය මෙන්ම උතුරු නැගෙනහිර මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය මත එහි ඇති පුරා විද්‍යා සාධක 279 ක් පිළිබඳව නම් කර ඇති බවත් ඒවා නැවත සමීක්ෂණයක් මගින් සංරක්ෂණය කිරීමට අදාළ පියවර ගැනීම සඳහා ඉල්ලීමක් කළ බවයි.

ශ‍්‍රී පාද රක්ෂිතය මායිමේ සංචාරක හෝටලයක් ඉදිකිරීමට තිබූ සූදානම සම්බන්ධයෙන් මෙන්ම  උතුරේ සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන සමහරක්  අවදානමකට ලක්ව තිබෙන බවද නෙත් නිවුස් සහ නෙත් එෆ්.එම්. බැලුම්ගල වැඩසටහනෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම අනාවරණ කළා.

පසුව ශ‍්‍රී පාදස්ථානය, උතුරේ සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීම සඳහා වූ පුළුල් කථිකාවක් මෙම අනාවරණයන් සමඟ ආරම්භ වුණා.