Sunday, September 8, 2024

General line - 0115112241

විද්‍යා ඝාතන විමර්ශනවලදී පොලිස් ලොක්කෙකුත් දැලේ පැටලෙයි




යාපනයේ පුංකුඩුතිව්හීදී සිවලෝගනාදන් විද්‍යා නැමති සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදා හරින ලෙස උපදෙස් දුන් බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති උපදෙස් පතා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි පවසනවා.

දැරිය අපයෝජනය කර මරා දැමීයැයි කියන මෙම සැකකරු මුදා හරින ලෙස මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා යාපනය පොලිසියට උපදෙස් දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කළ විමර්ශනයකදී හෙළි වී ඇති බවත් වාර්තා වෙනවා.

විද්‍යා දැරිය ඝාතනය කරනු ලැබුවේ 2015 වසරේ මැයි 13 වැනිදායි. ඝාතන සැකකරුවෙකු ගම්වාසීන් විසින් අල්ලා ගස්බැඳ ලැබූ අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ගොස් සැකකරු පොලිසිට වෙත රැගෙන විත් තිබෙනවා.

පසුව ඔහුට ගම්වාසීන් පහරදුන් බවට සටහන් කර සැකකරු මුදාහරින ලෙස උසස් පොලිස් නිලධාරියා උපදෙස් දී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙනවා. එහිදී ගම්වාසීන් අල්ලාදුන් සැකකරු මුදා හැරීම ගැන ප්‍රදේශවාසීන් දැඩි විරෝධයක් පළ කළා.

කෙසේවෙතත් පසුව, මෙම මුදාහල සැකකරු වැල්ලවත්තේ සිටියදී පොලිසිය විසින් යළි අත්අඩංගුවට ගනු ලැබුවා. මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ රහස් පොලිසිය විමර්ශන ගොනුවේ උදෘත නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇතැයිද සඳහන්.