Friday, April 26, 2024

General line - 0115112241

අභාවයට පෙරදා අමරදේවයන් කළ ඉල්ලීම බිරිඳ හෙළි කරයි




ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් මියයාමට පෙර දිනයේ කළ ඉල්ලීමක් ඔහුගේ බිරිඳ වන විමලා අමරදේව නෙත් නිවුස් වෙත හෙළි කළා.

අමරදේවයන් එම ඉල්ලීම කර ඇත්තේ බුදුන් දහම් සඟුන් යන තෙරුවනට පිදීම සඳහා මල් 3ක් සූදානම් කර දෙන ලෙසයි.

අමරදේවයන් වැනි අවංක ලංකා පුත්‍රයෙක් ඉදිරි සියවස් කිහිපයේදී හෝ බිහි නොවනු ඇතැයි ද විමලා අමරදේව කියා සිටියා.

මේ අතර අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය ආදාහනය නොකර කොළඹ වෛද්‍ය විද්‍යාලයට භාරදෙන බව මුලින් ප්‍රකාශ කෙරුණා.

කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අවසන් කටයුතු සිදුකෙරෙන බව ප්‍රකාශ කෙරුණේ පසු අවස්ථාවකදීයි.

මෙම වෙනස සිදුවූයේ කෙසේදැයි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මාධ්‍යයට අනාවරණ කළා.

වෛද්‍ය විද්‍යාලයට භාර නොදී ජනතාවට දැක බලා ගැනීමට ඉඩ සැලසිය යුතු බවත්,ඔහු වැන්නෙකුට රාජ්‍ය ගෞරව දැක්විය යුතු බවටත් බොහෝ දෙනා කළ ඉල්ලීම මත මෙය සිදුවූ බවයි ඔහු ප්‍රකාශ කලේ.

අමරදේවයන් පිළිබඳ රහසක්ද ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මාධ්‍ය වෙත අනාවරණ කළා.

ඔහු එහිදී පැවසුවේ අමරාදේවයාණන්ගේ අවසන් ජන්ම දිනය යෙදී තිබූ දා තමා ඔහුගේ නිවසට ගිය බවත් එහිදි අමරදේවයාණෝ ඔහුගේ හිතේ තිබූ අශාවක් පිළිබඳ තමාට පැවසූ බවත්ය.

ඒ අනාගත පරපුරට සංගීතය හැදෑරීමට සංගීත අසපුවක් නිර්මාණය කිරීමයි.මෙය අමරදේව සංගීත අසපුව නමින් නිර්මාණය විය යුතු යැයි ඔහු පවසා තිබුණා.කෙසේ වෙතත් අමරදේවයාණන්ගේ මෙම ඉල්ලීම රජයක් ලෙස ඉටු කරන බවත් එයට අගමැතිතුමාගේ හා ජනාධිපතුතමාගේ පූර්ණ අනුමැතිය ලැබී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.