Wednesday, April 24, 2024

General line - 0115112241

බලාගාර ඉදිකිරීමේ ප‍්‍රමාදය ගැන ලංකා විදුලිබල මණ්ඩලයෙන් හේතු විමසයි




විදුලි බලාගාර ඉදිකිරීමේ ප‍්‍රමාදය පිළිබඳ හේතු දක්වන්නැයි ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති නව සැලසුමට අනුව කඩිනමින් ඉදිකළ යුතු විදුලි බලාගාර 10 ක ඉදිකිරීම් වසර දහයකින් ප‍්‍රමාද වන බවයි සඳහන් වන්නේ.

ලබන වසරේ ජනවාරී සිට මෙහෙයුම් ඇරඹීමට නියමිතව තිබූ තාප බලාගාර දෙකක ඉදිකිරීම් ද වසර දෙකකින් ප‍්‍රමාද වනවා.

බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් 2018 දී අවසන් කිරීමට මුලින් නියමිතව තිබුණත් දැන් එහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර තිබෙන්නේ 2019 ජූනි මාසයේදීයි.

2019 ජනවාරී මාසයේ දී ජනන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙගාවොට් 300 ක ස්වභාවික වායු බලාගාරයේ ජනන කටයුතු ආරම්භ කිරීම 2020 ජූනි මාසය දක්වා කල්දමා තිබෙනවා.

විදුලි බලාගාර ඉදිකිරීම මෙලෙස ප‍්‍රමාද වීමෙන් ඉදිරි වසර කිහිපය තුළ විදුලි හිගයක් ද ඇතිවිය හැකි බවයි ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙන්නේ. අදාළ හේතු විමසීම ද ඒ අනුව සිදුකර තිබෙනවා.